සුරේෂ් සලේ රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 3ක් ඔස්සේ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 3ක් ඔස්සේ බව, විමර්ශන නිලධාරීන් අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී නඩුවේ පළමු සැකකරුවන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තෙවන සැකකරු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

තෙවන සැකකරු සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සම්බන්ධ බවට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇද්දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සුරේෂ් සලේගේ සැකකාරභාවය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවයි.

එහිදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, ත්‍රස්ත ප්‍රහාරයට පෙර සමයේ යුද හමුදා බුද්ධි අංශය විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දිගුකාලීනව තොරතුරුකරුවෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවත්, මෙම තුන්වන සැකකරු එම ඔත්තුකරු යොදා ගනිමින් කටුවාපිටිය දේවස්ථානය මුස්ලිම් අන්තවාදීන්ට පෙන්වා තිබෙන බවයි.

එසේම යුද හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් තොරතුරුකරුවකු මෙවැනි ප්‍රහාරයක් සිදුවෙතැයි පෙර දැනුම්දීමක් කර ඇති අතර, නමුත් ඊට සුදුසු පියවරක් බුද්ධි අංශය ගෙන නොමැති අතර ප්‍රහාරයෙන් පසු එම ඔත්තුකරු බුද්ධි අංශයට සඳහන් කර ඇත්තේ “යුද හමුදාවේ වසර 20ක්වත් පළපුරුද්ද තිබෙන ඉහළ නිලධාරියෙක් මේ පිටුපස ඉන්න ඕනේ” ලෙසයි.

අනතුරුව ප්‍රහාරයෙන් පසු යුද හමුදා බුද්ධි අංශයම එම ඔත්තුකරු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමක් සිදු කර ඇති අතර, පසුව නීතිපති උපදෙස් මත එම ඔත්තුකරු නිදහස් කර ඇති අතර ඔහු නිදහස් වී පැමිණි පසු තෙවන සැකකාර සුරේෂ් සලේ ඔත්තුකරුවා හෝටලයකට ගෙන්වා ස්තූති කර ඇති බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

එසේම පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සාරා ජැස්මින්ගේ මෘත ශරීරයක් මේ වන තුරු සොයාගෙන නොමැති බවත්, පළමු DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ මෘත ශරීරයක් හඳුනා නොගත් බවත් එසේ තිබියදී තෙවන DNA පරීක්ෂණයක් සිදු කරන ලෙස මේ සැකකාර සුරේෂ් සලේ දිගින් දිගටම විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවත් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරී නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සිලය තුළත් මේ බලපෑම සිදුවී ඇති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තෙවන සැකකරු ලංකාවේ නොසිටි බවත් ඔහු සිටියේ මැලේසියාවේ බවද සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන 25කට වඩා සිදුව ඇති බවත්, මුලින්ම ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් පෙර දැනුම්දීමේ තොරතුරක් පැමිණි ලෙස බවත්, ඒකට අදාළව අවශ්‍ය පියවර නොගත් බවට සඳහන් කරමින් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට නඩු පැවරූ බවත් නමුත් දැන් විමර්ශන නිලධාරීන් බුද්ධි අංශයේ කවුද ප්‍රහාරය ගැන පෙර දැනුම්දීමක් සිදු කළ බවට ප්‍රකාශ කරන බවද ඔහු ප්‍රකාශ කළා.

සහරාන්ව අල්ලා ගත්තා නම් මෙම කිසිදු ගැටලුවක් නොමැති බවත්, ජයික් ද අල්විස් වාර්තාව මඟින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සම්බන්ධයෙන් සඳහන් කර ඇති බවද සඳහන් කළ අතර, අනතුරුව සැකකාර සුරේෂ් සලේ රඳවා ඇති ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, තෙවන සැකකරුට අදාළව ඉදිරිපත් වී ඇති කරුණු පාස්කු ප්‍රහාරයට ඍජුව අදාළ කරුණු බවත් තෙවන සැකකරු සම්බන්ධයෙන් කිරීමට ඇති සියලුම ඉල්ලීම් ලිඛිතව සිදු කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

එසේම පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අදාළව තෙවන DNA පරීක්ෂණය සිදු කිරීමට 2022 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයා විසින් දී ඇති නියෝගය සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවට මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

අනතුරුව නඩුව යළි මාර්තු 20 කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නීතීඥ ඉසුරු නෙත්තිකුමාර වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.