මේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක්

මේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවේ, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල යන ප්‍රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවය.

“මී උණ තමා ලංකාවේ දෙවැනියට වාර්තාවන බෝවන රෝගය. වසරට 13,000ක් පමණ මේ රෝගීන් වාර්තා වෙනවා වසංගත රෝගී අංශයට. ඊට වැඩි වෙන්නත් පුළුවන්. පසුගිය අවුරුදු කිහිපය පුරාම මරණ 100ක්, 200ක් වාර්තා වුණා. 2024 වසරේ දී 300ක් වාර්තා වුණා. 2025 වසරේ දී එම මරණ 200ට අඩුවුණා. 2026ට 1,800ක් වාර්තා වුණා. ගාල්ල, මාතර, කළුතර,  රත්නපුර, කෑගල්ල හා මොනරාගල යන ප්‍රදේශවල මේ රෝගය වැඩි වශයෙන් වාර්තා වුණා. ඒ එක්කම කුරුණෑගල, ගම්පහ සහ කොළඹ වගේ වී වගා කටයුතු කරනවා නම් අවදානම් තත්ත්ව තියෙනවා නම් රෝගීන් වාර්තා වෙනවා.”

එම මාධ්‍ය හමුවට එක්වු කායික රෝග විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර මහතා මී උණ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. 

“උණ සාමාන්‍ය යෙන් දින තුනත් පහත් අතර. මෙහිදී රෝගියාගේ වැදගත්ම දේ තමා ඉතිහාසය. මෙයා කෙහේද ගියේ යන ආදිය. රෝග විනිශ්චයට ඉතාම වැදගත් ඉතිහාසය ගැන දැනගැනීම රෝගියාගේ. බඩ රිදෙනවා, වමනය එනවා. තද හිසරදය. හන්දි කැක්කුම එනවා. මස්පිඬු රිදෙනවා. ඊට අමතරව මේක පළමු දින තුනෙන් පසුවත් උණ තියෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවෙලා ඒ ගැන විනිශ්චයකට එන එක වැදගත්. රෝගය ප්‍රමාද වුණොත්, වකුගඩු, පෙනහලු ප්‍රධාන වශයෙන් බලපානවා. ඊට අමතරව මොළයට වුණත් බලපාලා මරණයට පත්වීමටත් ඉඩ දෙනවා”