ඉරාන – ඇමරිකා ගැටුම හමුවේ රුසියාවේ ‘සාම සාධක’ භූමිකාව

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය ප්‍රහාරයන් අඛණ්ඩව සිදු කරමින් සිටින පසුබිමක, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර සාම සාධකයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරමින් සිටින බවට බීබීසී ලෝක සේවය වාර්තා කරනවා.

පසුගිය සතියක කාලය තුළ පමණක් රුසියානු සහ ඉරාන ජනාධිපතිවරුන් දෙවතාවක් දුරකථනයෙන් සම්බන්ධ වී සාකච්ඡා පවත්වා ඇති අතර, මෙය රුසියාවේ නව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක සලකුණක් ලෙස ද විචාරකයෝ පෙන්වා දෙන බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, පූටින්ගේ මෙම ‘සාම සාධක’ භූමිකාව ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීම පහසු කටයුත්තක් වී නොමැත.

මන්දයත්, 2022 වසරේදී ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වූ යුක්‍රේනය වෙත පූර්ණ පරිමාණ ආක්‍රමණයක් එල්ල කිරීමට නියෝග ලබා දුන්නේ ද ව්ලැඩිමීර් පූටින් විසින්ම වන බැවිනි.

එම ආක්‍රමණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් ලෙස එවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ද හෙළා දකින ලදී.

ක්‍රෙම්ලිනය මේ වන විට ඉරාන ගැටුම සම්බන්ධයෙන් “දේශපාලන විසඳුමක්” ඉල්ලා සිටියද, රුසියාව තවමත් යුක්‍රේනයට එරෙහිව සිය යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටියි.
රුසියාව සහ ඉරානය අතර “සමස්ත උපායමාර්ගික හවුල්කාරිත්ව” ගිවිසුමක් පවතින අතර, පූටින් පසුගියදා ඉරානය වෙත සිය “නොසැලෙන සහයෝගය” යළිත් තහවුරු කර සිටියා.

එහෙත් එම හවුල්කාරිත්වය අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් දක්වා ව්‍යාප්ත වී නොමැති අතර, රුසියාවේ මූලික උත්සාහය වී ඇත්තේ ගැටුම සමනය කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමයි.

පසුගිය සඳුදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකථන සංවාදයකදී, ඉරාන ගැටුම රාජ්‍යතාන්ත්‍රිකව විසඳීම සඳහා පූටින් අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.

ගල්ෆ් කලාපය තුළ තම බලය තහවුරු කර ගැනීමටත්, ට්‍රම්ප් පාලනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම හරහා යුක්‍රේන යුද්ධයේදී රුසියාවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ගැනීමටත් මෙහිදී පූටින් උපක්‍රමශීලීව කටයුතු කරමින් සිටින බවයි එම පුවත් සේවය සඳහන් කර ඇත්තේ.

පූටින්ගේ මැදිහත්වීම පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, “පූටින් උදව් කිරීමට කැමති වුවත්, ඊට වඩා රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කිරීම ලොකු උදව්වක් වනු ඇති” බවයි.

ඉරාන ගැටුම රුසියාවට සැලකිය යුතු ආර්ථික වාසි ද අත්කර දී ඇත. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම රුසියානු රජයේ ආදායම ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා. රුසියානු අයවැය සකස් කර ඇත්තේ තෙල් බැරලයක් ඩොලර් 59 බැගින් අලෙවි වන පදනම මත වුවද, පසුගිය දිනක බොරතෙල් මිල බැරලයක් ඩොලර් 120 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

තවද, ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ තෙල් හිඟය පියවා ගැනීම සඳහා ඇතැම් රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ට්‍රම්ප් යෝජනා කර ඇත. රුසියාවට එරෙහි තෙල් සම්බාධක ලිහිල් වුවහොත් එය මොස්කව් පාලනයට විශාල මූල්‍යමය වාසියක් වනු ඇත. මෙම තත්ත්වය යුක්‍රේනයට එල්ල වන “බරපතල පහරක්” බව ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

රුසියානු මාධ්‍ය ද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

ක්‍රෙම්ලින් හිතවාදී ‘කොම්සොමොල්ස්කායා ප්‍රව්ඩා’ පුවත්පත පවසන්නේ අධික තෙල් මිල හේතුවෙන් බටහිර රටවලට සම්බාධක ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත්, ‘මොස්කොව්ස්කි කොම්සොමොලෙට්ස්’ වැනි පුවත්පත් ට්‍රම්ප් සහ ඉරාන යුද්ධය දැඩි ලෙස විවේචනය කරමින්, ඔහුව “සාම ජනාධිපතිවරයෙකු ලෙස පෙනී සිටිමින් සිහිය විකෘති වූවෙකු” ලෙස හඳුන්වා දී තිබෙනවා.