ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්ථාපිත කරන ලද නව අනුප්‍රාප්තික සමාගම් හයේ කටයුතු ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත පෙරේදා (08) අවලංගු වී ඇති අතර, ඒ අනුව විදුලි බල මණ්ඩලය ආයතනික ඒකකයක් ලෙස නීත්‍යනුකූලව අහෝසි වී ඇත. මෙතෙක් විදුලිබල මණ්ඩලය යටතේ පැවැති උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් යන සියලු වගකීම් මෙම නව සමාගම් වෙත පැවරෙන අතර ඒ සඳහා වූ විශේෂ ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලදි.
ඒ අනුව ඊයේ සිට විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම නව සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. මෙම වෙනස්කම්වලට සමගාමීව නව සමාගම් තුනක් සඳහා සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ අනුව, විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න මහතා පත් කර ඇත. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ මහතා ද, විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා ද සාමාන්‍යාධිකාරිවරුන් ලෙස පත් කර තිබේ. මිනි ඉදිරියට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු මෙහෙයුම් කටයුතු මෙම නව සමාගම් ජාලය ඔස්සේ සිදු කිරීමට නියමිතය.
මේ අනුව විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයන් පිහිටුවා තිබූ වෘත්තීය සමිති සියල්ලද පෙරේදා (08) මැදියම් රැයේ සිට අවලංගු වූ අතර නව සේවා යෝජකයන් යටතේ නව වෘත්තීය සමිති ලියාපදිංචි කර පිහිටුවා ගැනීමටද අදාළ වෘත්තීය සමිතිවලට සිදු වෙයි.
“විදුලි බලයෙන් සසිරිමත් දිවියක්” යන උදාර දැක්ම පෙරදැරි කරගනිමින්, 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනත මඟින් ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාපනය කරන ලද්දේ 1969 නොවැම්බර් මස පළමුවැනිදාය. එතැන් පටන් මෙරට විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පාරිභෝගිකයින් වෙත සැපයීම යන සමස්ත වගකීම එම මණ්ඩලය වෙත පැවරී තිබුණි.
2020 වසරෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ, අධික ණය සහ අලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණි. ඒ අනුව, විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වුවද, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මඟින් මෙම සංශෝධනයන් සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් විය.
විදුලිබල මණ්ඩලය අහෝසි වුවද, පාරිභෝගික ජනතාව වෙත සැපයෙන සේවාවන්හි කිසිදු අඩාළ වීමක් සිදු නොවන බව බලධාරීහු අවධාරණය කරති. විදුලිය බිඳවැටීම්, නව සම්බන්ධතා ලබා ගැනීම ඇතුළු ඕනෑම සේවාවක් සම්බන්ධයෙන් අදාළ සමාගම් මගින් නව දැනුම්දීමක් කරන තුරු පෙර පරිදිම සේවා ක්‍රියාත්මක වනු ඇත.
රක්ෂණ ශ්‍රියන්ත







