ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය කරයි

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය කිරීමේ ක්‍රියා­ව­ලිය යටතේ ස්ථාපිත කරන ලද නව අනු­ප්‍රා­ප්තික සමා­ගම් හයේ කට­යුතු ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට බලා­ත්මක කර තිබේ.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය කිරීමේ ක්‍රියා­ව­ලිය යටතේ 1969 අංක 17 දරන ලංකා විදු­ලි­බල මණ්ඩල පනත පෙරේදා (08) අව­ලංගු වී ඇති අතර, ඒ අනුව විදුලි බල මණ්ඩ­ලය ආය­ත­නික ඒක­ක­යක් ලෙස නීත්‍ය­නු­කූ­ලව අහෝසි වී ඇත. මෙතෙක් විදු­ලි­බල මණ්ඩ­ලය යටතේ පැවැති උත්පා­ද­නය, සම්ප්‍රේ­ෂ­ණය, බෙදා­හැ­රීම සහ පද්ධති මෙහෙ­යුම් යන සියලු වග­කීම් මෙම නව සමා­ගම් වෙත පැව­රෙන අතර ඒ සඳහා වූ විශේෂ ගැසට් නිවේ­ද­නය බල­ශක්ති අමා­ත්‍ය­ව­රයා විසින් පසු­ගි­යදා නිකුත් කරන ලදි.

ඒ අනුව ඊයේ සිට විදුලි ජනන ලංකා (පුද්ග­ලික) සමා­ගම, ජාතික සම්ප්‍රේ­ෂණ ජාල සේවා සප­ය­න්නන්ගේ (පුද්ග­ලික) සමා­ගම, ජාතික පද්ධති ක්‍රියා­කරු (පුද්ග­ලික) සමා­ගම, විදුලි බෙදා­හැ­රීම ලංකා (පුද්ග­ලික) සමා­ගම, සේවක අර­මු­දල (පුද්ග­ලික) සමා­ගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ග­ලික) සමා­ගම නව සමා­ගම් ලෙස ක්‍රියා­ත්මක වේ. මෙම වෙන­ස්ක­ම්ව­ලට සම­ගා­මීව නව සමා­ගම් තුනක් සඳහා සාමා­න්‍යා­ධි­කා­රි­ව­රුන් පත් කිරී­මට ද පිය­වර ගෙන තිබේ. ඒ අනුව, විදුලි ජනන ලංකා (පුද්ග­ලික) සමා­ගමේ සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා ලෙස ඉංජි­නේරු එන්. ජී. සාලිය පණ්ඩි­ත­රත්න මහතා පත් කර ඇත. ජාතික සම්ප්‍රේ­ෂණ ජාල සේවා සප­ය­න්නන්ගේ (පුද්ග­ලික) සමා­ගම සඳහා ඉංජි­නේරු එන්. එස්. වෙත්ත­සිංහ මහතා ද, විදුලි බෙදා­හැ­රීමේ ලංකා (පුද්ග­ලික) සමා­ගම සඳහා ඉංජි­නේරු කේ. එස්. අයි. කුමාර මහතා ද සාමා­න්‍යා­ධි­කා­රි­ව­රුන් ලෙස පත් කර තිබේ. මිනි ඉදි­රි­යට ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ සියලු මෙහෙ­යුම් කට­යුතු මෙම නව සමා­ගම් ජාලය ඔස්සේ සිදු කිරී­මට නිය­මි­තය.

මේ අනුව විදු­ලි­බල මණ්ඩ­ලය යටතේ එහි සේව­ක­යන් පිහි­ටුවා තිබූ වෘත්තීය සමිති සිය­ල්ලද පෙරේදා (08) මැදි­යම් රැයේ සිට අව­ලංගු වූ අතර නව සේවා යෝජ­ක­යන් යටතේ නව වෘත්තීය සමිති ලියා­ප­දිංචි කර පිහි­ටුවා ගැනී­ම­ටද අදාළ වෘත්තීය සමි­ති­ව­ලට සිදු වෙයි.

“විදුලි බල­යෙන් සසි­රි­මත් දිවි­යක්” යන උදාර දැක්ම පෙර­දැරි කර­ග­නි­මින්, 1969 අංක 17 දරන පාර්ලි­මේන්තු පනත මඟින් ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය ස්ථාප­නය කරන ලද්දේ 1969 නොවැ­ම්බර් මස පළ­මු­වැ­නි­දාය. එතැන් පටන් මෙරට විදු­ලි­බ­ලය උත්පා­ද­නය, සම්ප්‍රේ­ෂ­ණය, බෙදා හැරීම සහ පාරි­භෝ­ගි­ක­යින් වෙත සැප­යීම යන සමස්ත වග­කීම එම මණ්ඩ­ලය වෙත පැවරී තිබුණි.

2020 වස­රෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බු­දය හමුවේ, අධික ණය සහ අලාභ ලබන රාජ්‍ය ආය­තන ප්‍රති­ව්‍යූ­හ­ගත කළ යුතු බවට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල නිර්දේශ කර තිබුණි. ඒ අනුව, විවිධ පාර්ශ්ව­ය­න්ගෙන් විරෝ­ධතා එල්ල වුවද, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදු­ලි­බල පනත මඟින් මෙම සංශෝ­ධ­න­යන් සඳහා අවශ්‍ය නීති­මය පද­නම සකස් විය.

විදු­ලි­බල මණ්ඩ­ලය අහෝසි වුවද, පාරි­භෝ­ගික ජන­තාව වෙත සැප­යෙන සේවා­වන්හි කිසිදු අඩාළ වීමක් සිදු නොවන බව බල­ධා­රීහු අව­ධා­ර­ණය කරති. විදු­ලිය බිඳ­වැ­ටීම්, නව සම්බ­න්ධතා ලබා ගැනීම ඇතුළු ඕනෑම සේවා­වක් සම්බ­න්ධ­යෙන් අදාළ සමා­ගම් මගින් නව දැනු­ම්දී­මක් කරන තුරු පෙර පරි­දිම සේවා ක්‍රියා­ත්මක වනු ඇත.

රක්ෂණ ශ්‍රියන්ත