මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලිට්රෝ ගෑස් හිඟයක් ඇති නොවන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා ‘දිනමිණ’ට ඊයේ (08) පැවැසීය.
මේ වන විට මාලදිවයිනේ ගෑස් මෙට්රික් ටොන් 30000ක නැවක් නැංගුරම්ලා ඇති බවත්, තවත් ගෑස් මෙට්රික් ටොන් 33000ක නැවක් එළැඹෙන මාර්තු 17 වැනිදා මාලදිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ඒ මහතා පැවැසීය.
මෙම නැව් ශ්රී ලංකාවේ ඇණවුම්වලට අනුව මාලදිවයින දක්වා පැමිණෙන අතර එතැන් සිට දින දෙකකට වරක් කුඩා නැවක් මඟින් මෙරටට ගෙන ඒම සිදු කෙරෙයි.
මෙතෙක් ඕමාන සමාගමකට දී තිබූ ගෑස් සැපයීමේ ටෙන්ඩරය මෙවර අමෙරිකානු සමාගමකට දීම වත්මන් යුදමය තත්ත්වය හමුවේ ගෙන ඇති කාලෝචිත තීරණයක් බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ගෑස් නැව් මාලදිවයින දක්වා ගෙන්වනු ලබන්නේ යුද කලාපය හරහා නොවේ. මෙම නැව් අමෙරිකාවේ සිට අප්රිකාවට වටා යාත්රා කොට මාලදිවයින දක්වා පැමිණෙන හෙයින් යුදමය තත්ත්වය හේතුවෙන් ගෑස් සැපයුමට කිසිදු බාධාවක් නොවන බව ද ඒ මහතා පැවසුවේය.
එසේම ගෑස් පරිභෝජනය ඉහළ යාම නිසා නව ගෑස් ටැංකි ලක්ෂ 7ක ප්රමාණයක් කොටස් වශයෙන් වෙෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
රන්මලී සෝමසිරි







