විමල් ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 18 වැනිදා යළි කැඳවෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ඉකුත් 2016 වසරේදී ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාවට අදාළ නඩුව ලබන මාර්තු 18 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (09) නියෝග කළා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එදිනට සිදු කිරීමට නියමිතයි.

සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහා තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිටින බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

මෙහිදී නඩුවේ 6 වන සහ 7 වන සාක්ෂිකරුවන් පෙර නඩු වාරයේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබුණා.

2016 පෙබරවාරි 6 වැනි දින ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර සහ පියසිරි විජේනායක අධිකරණය හමුවේ පෙනී සිටියා.