ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 06 ක් යටතේ ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය අද සිට ඇරඹේ

ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 06 කට බෙදීමේ ක්‍රියාවලිය අද (09) සිට බලාත්මක වනවා.

මේ සමඟ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන අතර, එහි මෙහෙයුම් කටයුතු ද අවසන් වනවා.

මෙරට විදුලි බලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පාරිභෝගිකයන් වෙත එය සැපයීම සඳහා වන සියලු වගකීම් පැවරී තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයට වන අතර, 2020 වසරෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ රාජ්‍ය ආයතනවල අධික ණය හා අලාභයට විසඳුමක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන රැසක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණා.

ඒ අනුව, එම කටයුතු ආරම්භ කිරීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 06 කට බෙදීමේ ක්‍රියාවලිය සිදු වූ අතර, නව සමාගම් හයෙන් තුනක් සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් ද මේ වන විට පත් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ විදුලි උත්පාදන ලංකා (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු එන්.ජී. සාලිය පණ්ඩිතරත්න පත් කර ඇති අතර, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ පත් කර තිබෙනවා.

එසේම විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර පත් කර ඇති බවයි සඳහන් වන්නේ.