පසුගිය සතියේ ඇමෙරිකා-ඊශ්‍රායල යුද ප්‍රහාරයකින් මිය ගිය අයතුල්ලා අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ දෙවන පුත් Mojtaba Khamenei පත් කිරීමට ඉරානයේ විශේෂඥ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
56 හැවිරිදි මොජ්තබා කමේනි, ඉරාන ඉස්ලාමීය ජනරජයේ 47 වසරක ඉතිහාසය තුළ එරට මුහුණ දෙන දරුණුතම අර්බුදය හමුවේ රට මෙහෙයවීමේ වගකීම භාර ගනු ඇති බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඇතුළු එරට සන්නද්ධ අංශ දැනටමත් නව නායකයා වෙත තම සහයෝගය පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ජාතික ආරක්ෂක උපදේශක අලි ලාරිජානි සහ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කළේ, නව නායකයා වටා එක්රොක් වීම ආගමික හා ජාතික වගකීමක් බවයි.
මොජ්තබා කමේනි කිසි දිනෙක මැතිවරණයකට ඉදිරිපත් වී නැතත්, දශක ගණනාවක් තිස්සේ තම පියාගේ සමීපතම උපදේශකයකු ලෙසත්, විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ දැඩි සබඳතා පවත්වන්නකු ලෙසත් ප්‍රසිද්ධියට පත් ව සිටින බවයි සඳහන් වන්නේ.
මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, වොෂින්ටනයේ අනුමැතියකින් තොරව පත් වන ඕනෑම නායකයකුට වැඩි කාලයක් රැඳී සිටීමට නොහැකි වනු ඇති බවයි.
ඉරානයේ මීළඟ නායකයා කවුරුන් ද යන්න තීරණය කිරීමට තමන් මැදිහත් වන බවට ද ඔහු අනතුරු අඟවා තිබුණා.







