පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිසියෙන් දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම්දීමක් කර තිබෙනවා.

දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාල වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරන බව අදාල නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

පොලිස් නිෂ්කාශන වාර්තාව ඉල්ලුම් කරනු ලබන තැනැත්තා යම් නීති විරෝධී හෝ අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ නොවූ නීති ගරුක පුද්ගලයකු වන විටකදී ඔහු හෝ ඇයගේ පොලිස් නිෂ්කාශන වාර්තාව ඉතා කඩමින් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි පොලිසිය එම මාධ්‍ය නිවේදනය මගින් දක්වා තිබෙන්නේ.

එසේම අනිතීක හෝ අපරාධමය ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් හා සම්බන්ධ වාර්තාවන් අයහපත් නිෂ්කාශන වර්තා ලෙස නිකුත් කරන බවයි එහි දක්වා තිබෙන්නේ.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට පිවිස www.police.lk හරහා E-service යොමුවට පිවිස Clearance Certificates යන්න තෝරාගෙන අදාළ අයදුම්පත සම්පූර්ණ කර නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ සලසා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශගතව සිටින පුරවැසියෙකු පොලිස් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සඳහා රුපියල් 5,100ක මුදලක් ගෙවිය යුතු වන අතර, ඊට අදාල මුදල් ලදුපත ලැබීමෙන් පසු දින 14ක් වැනි කාලයකදී තම පොලිස් නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමේ හැකියාව ඇති බව අදාළ නිවේදනයෙ දැක්වෙනවා.

විදේශගතව සිටින තැනැත්තන් වීසා කාලය දීර්ඝ කිරීම තම සේවා කාලය දීර්ඝ කර ගැනීම හෝ වෙනත් විවිධ රාජකාරීමය අවශ්‍යතා සඳහා ද පොලිස් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කරනු ලබනවා නම් මාර්ග ගත ක්‍රමය හා විදෙස්ගත රටවල පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය හරහා නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කළ යුතු බව එහි දක්වා තිබෙනවා.

නිෂ්කාශන වාර්තාවක් ඉල්ලා සිටීමෙන් පසු එහි යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය වන විටදී අයදුම්පත යොමුකර පැය 72 ක කාලයක් ඇතුළත පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය අමතා එම සංශෝධන කරගන්නා ලෙසද පොලිසිය එහි දක්වා තිබෙනවා.

අදාල දුරකථන අංක නම්,

071 8592990 දරන වට්ස්ඇප් අංකය
0112439185/011 2439186/ 011 2122800