ලංකා කම්කරු කොංග්‍රසයට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්

කාන්තා දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ කාන්තා සංවිධානය විසින් (08) දින උදෑසන දික්ඔය මූලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පැවැත්විමට සූදානම් කර තිබූ උද්ඝෝෂණයක් නතර කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාය තුල පශ්චාත් මරණ පරික්ෂණයට තැම්පත් කර තිබු කාන්තා මළ සිරුරක් එම රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් දුෂණය කළේ යැයි කියන සිද්ධියට විරෝධය පාමින් සහ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු අපක්ෂපාතීව කඩිනමින් සිදු කරන ලෙසට බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් එම උද්ගෝෂණය පැවැත්වීමට කටයුතු කර තිබුණා.

නෝර්වුඩ් පොලිසිය විසින් හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දමයන්ති ප්‍රනාන්දු වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

රෝහල් පාලන අධිකාරිය සහ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පරික්ෂණයක් පැවැත්වෙන අතරතුර රෝහල ඉදිරිපිට උද්ඝෝෂණය කිරිම නිසා රෝහලේ වෛද්‍යවරුන්ට, රෝගීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහලේ දේපල වලට බලපෑමක් සහ අලාභ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙම තහනම් නියෝගය නිකුත් කරන ලෙසට නෝර්වුඩ් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් සිදු කළා.

එම ඉල්ලීම පිලිබද සලකා බැලූ මහේස්ත්‍රාවරිය එම තහනම් නියෝගය (08) දින නිකුත් කළා.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජිවන් තොන්ඩමන් ඇතුලු එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුට එරෙහිව තහනම් නියෝගය ලබා ගෙන තිබුණා.

එම නියෝගය පොලිසිය කියවිමෙන් අනතුරුව එම උද්ඝෝෂණයට එක් වී සිටි පිරිස කියා සිටියේ, අධිකරණ නියෝගයට ගරු කර උද්ඝෝෂණය සිදු නොකරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු සහ පරික්ෂණ අපක්ෂපාතීව සිදු කරන ලෙසයි.

එම ස්ථානයට පැමිණි හැටන් කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ, අධිකරන නියෝගයට අනුව කටයුතු කරන ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්ෂණ අපක්ෂපාතීව පැවැත්වෙන බවයි.