ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක Free වීසා 

ඉරාන නෞකාවලින් මුදා ගනු ලැබූ කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඉදිරියටත් එවැනි තීන්දු තීරණ ගන්නා බවත් එමගින් කිසිදු පාර්ශ්වයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවත් ඔහු කීය.

රටේ පවතින ජාත්‍යන්තර සම්මුතින් හා නාවික නීතිරීති අනුගමනය කරමින් නොබැඳී පිළිවෙතක් සහිතව ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

මේ අතර රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුව සැලකිලිමත්ව කටයුතු කරනු ඇති බව ද ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. 

ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගෝලීය වශයෙන් ඇතිවන යුදමය තත්ත්වයන් හමුවේ වක්‍ර බලපෑම් ඇතිවුවද ජාතික ආරක්ෂාව මුල්කොට සලකන බව ඔහු සඳහන් කරයි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් සිදුකළ පරීක්ෂණවලට අනතුරුව හිටපු බුද්ධි ප්‍රධානි සලේ මහතා අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

එම විමර්ශන කටයුතු විනිවිදභාවයෙන් හා සාධාරණව සිදුවෙමින් පවතින අතර දැනට සිදුකළ විමර්ශන අනුව හිටපු බුද්ධි ප්‍රධානියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට  සාක්ෂි ලැබී ඇති බවත් ඒ අනුව ඔහු වැරදිකරුවෙක් ද නැද්ද යන්න අධිකරණ ක්‍රියා මාර්ග හරහා තීරණය කෙරෙනු ඇත.

විපක්ෂයෙ කණ්ඩායම් විවිධ ප්‍රකාශ සිදු කළ ද විමර්ශන සඳහා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට පොලිසියට හැකියාව පවතින බවත් එවැනි කටයුත්තක් මෙහිදී සිදුව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.