ශ්‍රී ලංකාව අවට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ඉරාන අයිරිස් ඩෙනා නමැති නෞකාව මුහුදුබත් වීමත් සමඟ ධීවර කටයුතුවල නිරත මෙරට ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විවිධ මත පළ වුණා.
මේ තත්ත්වයත් සමඟ ඇතැම් ධීවරයින්ද සිය ධීවර කටයුතුවල නිරතවීම සදහා බියක් දක්වනවා.
මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවතින තත්ත්වය හේතුවෙන් මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර යාත්‍රාවල සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා
එහි දැක්වෙන්නේ සැමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරතවන ලෙසයි.
යුදමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට යෑමෙන් වළකින ලෙසද ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම, ධීවර කටයුතු සඳහා පිටත්ව යෑමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිත කරන සුපුරුදු ගමන්මාර්ග පමණක් භාවිත කරන ලෙසත්, ධීවර කටයුතු අවසන් වූ වහාම නැවත ගොඩබිමට පැමිණෙන ලෙසත් නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන්.
හදිසි තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගොඩබිම පවතින ගුවන්විදුලි මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතින බවත්, කොළඹ ක්‍රියාත්මක සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය සමඟ මෙම සංඛ්‍යාත ඔස්සේ ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කර ගත හැකි බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, පවතින අර්බුදයත් සමඟ ගුවන් ගමන් සේවා අත්හිටුවීම් හේතුවෙන් තම රටවල් වෙත ආපසු යෑමට නොහැකිව මේ වනවිට මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකා සංචාරක ආයතනය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබෙනවා.
ඒ අනුව, සිය රටවලට යෑමට නොහැකිව මෙරට රැ දී සිටින සංචාරකයින්ට දින 14 ක කාලයක් සඳහා නොමිලේ වීසා දිගුවක් ලබාදීම සහ එම කාලය තුළදී දිවා ආහාරවේල නොමිලේ ලබාදීමට මෙන්ම පැය 24 පුරා හදිස් ඇමතුම් සේවාවක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.







