ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කෙරේ

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් හෝ ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව, මාර්තු මස 10 දින සිට සිට නොවැම්බර් දක්වා, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩවල අහඹු ලෙස තෝරා ගත් 10,000 ක නියැදියක දත්ත එකතු කිරීම සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළදී ද, වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට ද නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් නියමිතයි.

මෙම සමීක්ෂණයේ දී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරීම අතිශය වැදගත් බැවින්, ඉහත සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල් වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.