ශ්‍රී ලංකාව අසල ප්‍රථමයෙන් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිස සහ දෙවැනි ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නැවත ඉරානයට නොයවන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට වාර්තා වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.
එම පුවත් සේවයට දැනගැනීමට ලැබුණු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පණිවිඩයකට අනුව සඳහන්ව ඇත්තේ, නෞකා දෙකෙහි සිටි කාර්ය මණ්ඩලය නැවත මව් රටට නොයවන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බවයි.
ගාල්ලට නාවික සැතපුම් 19ක් පමණ ඔබ්බෙන් වූ ඉන්දියන් සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ඉරාන යුද නෞකාවක් වන ‘IRIS Dena’ ගිල්වා දැමූ අතර, එම සිද්ධියෙන් නාවිකයන් පිරිසක් මියගියා.
එසේම පසුගිය බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාව දෙවැනි ඉරාන නෞකාවක් වන ‘IRIS Booshehr’ නාවික යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 208 දෙනෙකු මෙරටට රැගෙන පැමිණියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ, කාර්ය මණ්ඩලය භාර ගැනීම “මානුෂීය වගකීමක්” බවයි.
රොයිටර් පුවත් සේවය සඳහන් කරන පරිදි මාර්තු 6 වන දින දිනැති සහ මීට පෙර වාර්තා නොවූ මෙම රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පණිවිඩයේ සඳහන් වන්නේ, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන නිලධාරිනී ජේන් හොවෙල් විසින්, ‘Booshehr’ කාර්ය මණ්ඩලය හෝ ‘Dena’ හි දිවි ගලවා ගත් 32 දෙනා ඉරානයට ආපසු නොයවන ලෙස ශ්‍රී ලංකා රජයට අවධාරණය කර ඇති බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොමැත.
ජනාධිපති කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයන් ද අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එම කේබල් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයාට ද කාර්ය මණ්ඩලය ඉරානයට ආපසු යැවීමට සැලැස්මක් නොමැති බව හොවෙල් පවසා ඇති බවයි.
කාර්ය මණ්ඩලය “රට හැර යාමට” දිරිමත් කිරීම සඳහා යම් මැදිහත්වීමක් සිදු කර තිබේදැයි තානාපතිවරයා හොවෙල්ගෙන් විමසා තිබෙනවා.
නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ද අදහස් දැක්වීමේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොමැත.
එමෙන්ම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ‘Dena’ නෞකාවේ මියගිය අයගේ දේහයන් නැවත ඉරානයට යැවීමට උපකාර කරන ලෙස ටෙහෙරානය කොළඹින් ඉල්ලා ඇති නමුත්, ඒ සඳහා කාලරාමුවක් තවමත් තීරණය කර නොමැති බවයි.
‘Dena’ නෞකාව පසුගිය මාසයේ ඉන්දියාව විසින් බෙංගාල බොක්කේ සංවිධානය කරන ලද නාවික අභ්‍යාසයකට සහභාගී වී නැවත ඉරානය බලා යමින් සිටියදී අමෙරිකානු ටෝර්පිඩෝ ප්‍රහාරයකට ලක්වුණා.
එක්සත් ජනපද නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ප්‍රහාරයට ලක්වන විට ‘Dena’ නෞකාව සන්නද්ධව තිබූ බවත්, ප්‍රහාරය එල්ල කිරීමට පෙර එක්සත් ජනපදය කිසිදු අනතුරු ඇඟවීමක් ලබා නොදුන් බවත්.
රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පණිවිඩයට අනුව, දෙවන නෞකාව වන ‘Booshehr’, ගැටුම පවතින කාලය තුළ ශ්‍රී ලංකාවේ පවතිනු ඇති.
මෙරට බලධාරීන් සඳහන් කර ඇත්තේ, ඔවුන් ‘Booshehr’ නෞකාව නැගෙනහිර වෙරළ තීරයේ වරායකට රැගෙන යන බවත්, එහි සිටින බොහෝ කාර්ය මණ්ඩලය කොළඹ ආසන්නයේ නාවික කඳවුරකට ගෙන යන බවත්.







