ඊශ්‍රායලයේ උතුරු කලාපය ඉලක්ක කරගනිමින් හිස්බුල්ලා සංවිධානය එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින්, එම ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සිය ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (07) විශේෂ දැනුම්දීමක් සිදු කළේය.
විශේෂයෙන්ම හයිෆා (Haifa), නහරියා (Nahariya), අර්කෝ (Arko), ගැලීලි (Galilee), අෆුලා (Afula), කර්මෙල් (Carmel) කඳුවැටිය ආශ්රිත ප්‍රදේශ, නාසරෙත් (Nazareth) සහ තිබෙරියා (Tiberias) යන නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුය.
ලෙබනන් දේශසීමාව දෙසින් එල්ල විය හැකි ප්‍රහාරවලට අමතරව, රට අභ්‍යන්තරයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇති විය හැකි ප්‍රකෝපාකාරී ක්‍රියාවන් පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස තානාපතිවරයා උපදෙස් දෙයි.
කෙසේ වෙතත්, ඉරානය දෙසින් එල්ල වන ප්‍රහාරවල යම් අඩුවක් දක්නට ලැබෙන බව ද තානාපති බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධ වන ලෙස දන්වා සිටියි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ම පණිවිඩය පහතින්,
“ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව.
පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
ඊශ්රායිල් ආරක්ෂක හමුදාවන් විසින් ලෙබනනයේ දකුණු කලාපය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හා හිස්බුල්ල සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතරු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බව නිරීක්ෂණය වේ.
මේ අනුව හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි,අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්,තිබෙරියා ඇතුළු උතුරු කලාපයේ ජිවත්වන පිරිස ලෙබනනයෙන් එල්ලවිය හැකි ප්‍රහාර හා රට අභියන්තරයේ යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපාකාරි සිද්ධීන් අවධානය යොමු කළ යුතුවේ.
දැනට ඊශ්රායිල් ආරක්ෂක අංශ මගින් සමූහ එක්රැස්වීම් තහනම් කර ඇති බැවින් පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය සමනය වන තෙක් එවැනි සමුහ එක්රැස් වීම්වලට එක් නොවන ඇමෙන් දන්වමි.
උතුරු ඊශ්රායිල් කලාපයේ 9000 කට අධික ශ්‍රී ලාංකිකයන් සේවය කරන බැවින් නිරන්තරයෙන්ම ඊශ්රායිල් ආරක්ෂක හමුදාවන්, රජයේ මාධ්‍යය හා PIBA ආයතනය මෙන්ම තානාපති කාර්යාලය විසින් ලබා දෙන උපදෙස් පිළිපදින මෙන් දන්වමි.
ඕනෑම ප්‍රහාරයකදී ඔබට ඊශ්රායිල් ගිලන්රථ සේවා නොමිලේ ලබා දෙන අතර ඔබ සිටින ස්ථානයේ location සමඟ 101 අංකයට ඇමතීමෙන් ගිලන්රථ සේවාව ලබා ගත හැක.
අවශ්‍ය උපදෙස් සඳහා තානාපති කාර්යාලයේ whatsapp අංක 00972-559305731 සතියේ දින හතේම ඇමතිය හැක.”
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඊශ්‍රායලය







