ඉරානයට අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින බැවින් එම ජීවිත ආරක්ෂා කිරීමට රජය උපරිම ලෙස මැදිහත්වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට වඩා බොහෝ තොරතුරු රජය දන්නා බැවින් කලාපීය සාමය ආරක්ෂා කිරීමට මෙන්ම එම ජීවිත හානි අවම කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම කටයුතු අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ලබා දෙන බව ද හෙතෙම පැවසීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ, ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාව හා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ඇති දෙවැනි ඉරාන නැව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, රජයක් ලෙස ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් රජය වගකීම් සහගත ලෙස අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවයි.
එමෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරගැනීම අතිශය වැදගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා, මේ මොහොතේදී එළියේ මාධ්‍ය යොදාගෙන විහිළු කිරීම, දේශපාලන කෝන්තර පිරිමැසීම, එසේ නොමැති නම් තවත් ජන කොටසක් කුපිත කරවීම හෝ අසත්‍ය තොරතුරු හෝ හිතලු මත පදනම්ව ප්‍රකාශ සිදු කිරීමට වේලාව නොවන බව ද වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
“අපි කවුරුත් දන්නවා, ගල්ෆ් කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව රටක් ලෙස එළියේ මාධ්‍ය යොදාගෙන කතා කරන්න, විහිළු කරන්න වෙලාවක් නෙවෙයි.
විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා. දැනගෙන තමා කටයුතු කරන්නේ. රජය කරුණු දැනගෙන මේ ප්රශ්නය නිරාකරණය කරගැනීමට, ජීවිත හානි අවම කරගැනීමට, කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට කටයුතු කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ, අපේ ජාතික ජල තීරයේ නෙමෙයි. එය ජාතික ජල තීරයට ආසන්න Exclusive economic zone එකේ. ඒ සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා.
ඒ වගේම රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කරන බවත්, විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය අපේ අපේක්ෂාව වන අතර කළ හැකි මැදිහත්වීම සිදු කරමින් කිව්වටත් වඩා දේවල් මේ වෙලාවේ ඉන්දියානු සාගරයේ සිදු වෙමින් පවතිනවා.
රජයක් ලෙස ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් මැදිහත් වෙමින් ඉන්නවා. කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට මැදිහත් වෙමින් තියෙනවා. වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන්නම්. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්රඥප්තීන්ට අනුකූල වෙමින් අවම ජීවිත හානි සිදුවන ආකාර සහ ඉන්දීය සාගරයේ සාමය ආරක්ෂා වන ආකාරයට රජයක් ලෙස වගකීම් සහගතව කටයුතු කරනවා. අද හවසට වැඩි විස්තරයක් කියන්න පුළුවන් වෙයි.
අපි කවුරුත් දන්නවා මැදපෙරදිග කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් විදියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත්, ආණ්ඩුව එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත්, නැතිනම් තමන් ප්‍රකාශයක් කරන්නවත්, එහෙම නැතිනම් තවත් ජන කොටසක් කුපිත කරවන ප්‍රකාශ කරන්නවත්, අසත්‍ය තොරතුරු, අර්ධ සත්‍ය තොරතුරු, වැරදි තොරතුරු, මත පදනම්ව හිතලු කියන්නවත් වෙලාවක් නෙමෙයි.
හැම දේශපාලනඥයෙක්ම, මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයෙන් තියෙන මෙවැනි වාර්තාකරණයක දී ඉතා වගකීම් සහගත ප්‍රකාශ කළ යුතුයි. අපිට තියෙනවා ජාතික ජල තීරයක්. අපේ මුහුදු සීමාවේ ඉඳලා නාවික සැතපුම් 12ක්. ඒක අපිට අයිතියි.
ඒ සීමාව තුළ අපට තීන්දු ගත හැකියි. ඒ නාවික සැතපුම් 12 සිට 200 දක්වා තියෙන්නේ, අනන්‍ය ආර්ථික කලාපය. මේ කලාපය තුළ ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක වෙනවා. අපිට ආර්ථික කටයුතුවලට තමා බලය තියෙන්නේ. යුද කටයුතුවලට නෙමෙයි. ඕනම රටකට ගමනාගමන කටයුතුවල නිරත වෙන්න පුළුවන්.
මේ සිදුවීම වුණේ ගාලු වරායේ ඉඳලා නාවික සැතපුම් 19ක දුරින්. මේ ගැන ඊයේ උදෑසන 5.08ට නාවික හමුදාවට අයිති MRCC එකට ඉස්සෙල්ලාම පණිවුඩයක් ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කළා ද නැද්ද කියලා නෙමෙයි. යම් ආකාරයට ඒ කලාපයේ මෘත ශරීර පාවෙමින් තියෙනවා කියන දේ.
ඒ අනුව පැයක් ගතවෙන්න කලින් ශ්‍රී ලංකා නාවික හමුදාව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා. ඒ වෙලාවේ නාවික හමුදාවට, ගුවන් හමුදාවට, ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රහාරය ගැන හොය හොය ඉන්න නෙමෙයි තියෙන්නේ, මේක මොන ආකාරයටද සිදුවුණේ. මොන විදිහේ ප්‍රහාරයක් ද ආදිය හොය හොය ඉන්න එක නෙවෙයි ඒ වෙලාවේ කළ යුත්තේ. ඇත්තටම මානුෂීය පදනමින් මැදිහත් වෙලා ජීවිත ගලවා ගැනීමයි.
ඒ අනුව රජය පැත්තෙන්, නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව ඒ දේ කළා. අපිට පුළුවන් වුණා, අනතුරට පත්වූ අයගෙන් කරාපිටිය රෝහලට 32ක් රැගෙන එන්න. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 87කගේ මෘත ශරීර දැනට අරගෙන ඇවිත් තියෙනවා.
අපිට තියෙන ෆ්‍රීසර් ප්‍රමාණවත් නෑ. ගාල්ල හා කරාපිටිය අවට රෝහල්වල තිබෙන ෆ්‍රීසර් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයෙන් මේක අපි ඉටුකරගත යුතුයි. රජය සතුව තිබෙන ඒවා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ සහාය හෝ ලබාගත යුතුයි. අපි ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා. පැය කිහිපයකින් කොළඹින් දෙකක් යනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී විවිධ මත ප්‍රචාරය වුණා. අනතුරක් ද, ප්‍රහාරයක් ද ආදිය සම්බන්ධයෙන්. අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අපි මේ සම්බන්ධයෙන් කටයුතු කළේ අපට ලැබුණු තොරතුරු අනුවයි.
ඒ වගේම රජයක් ලෙස මේ සම්බන්ධයෙන් අපි සිදුකරමින් සිටින දේවල් තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාමය වෙනුවෙන් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපය තුළ. ඒ වෙනුවෙන් කළ හැකි මැදිහත් වීම අපි සිදු කරනවා. රජයක් ලෙස අපි වගකීම් සහගතව කටයුතු කරමින් සිටිනවා.
මතක තබාගන්න මේ වෙලාවේ වෙන වෙන කෝන්තර පිරිමහන වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුගත වෙමින් අවම ජීවිත හානි සිදු වන ආකාරයට ඉන්දියානු සාගර කලාපයේ සාමය හා ආරක්ෂාව තහවුරු කළ හැකි පරිදි වගකීම් සහගතව අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රජයේ සියලු ආයතන මේ මොහොත වන විටත් කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම දෙවැනි නැවක් ගැන විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. නමුත් විපක්ෂ නායකතුමා කියන කරුණුවලට වඩා බොහෝ දේවල් බොහෝ කරුණු අපි දන්නවා. ඒ ගැන දැනගෙන තමයි අපි කටයුතු කරන්නේ.
ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැතිවරයා ලෙස සහ ආරක්ෂක මණ්ඩලය, සියලුම ආරක්ෂක අංශ මේ කරුණු දැනගෙන තමයි කටයුතු කරන්නේ. ඒ ගැන දැනගෙන තමයි මේ ප්රශ්නය නිරාකරණය කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින්නේ. ජීවිත හානි අවම කිරීම හා කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටින්නේ.
විපක්ෂ නායකතුමා කියන පරිදි මේ දෙවැනි නැව තිබෙන්නේ ජාතික ජල තීරය තුළ නෙවෙයි. එය තිබෙන්නේ ජල තීරයට ආසන්න විශේෂ කලාපයේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන්ද උපරිම මැදිහත්වීම සිදුකරමින් සිටිනවා. මේ කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙනවා.”







