ඉරාන ඩ්‍රෝන යානා මැඩපැවැත්වීමට අමෙරිකාව යුක්‍රේනයෙන් සහය ඉල්ලයි

ඉරාන ඩ්‍රෝන යානාවලින් ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේනයෙන් සහය ඉල්ලා ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින් තමන් සමග සම්බන්ධ වෙමින් සිටින බවත්, “අමෙරිකානු පාර්ශ්වයෙන් ඉල්ලීම් ලැබී ඇති” බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.

“අවශ්‍ය සම්පත් සැපයීමට සහ අවශ්‍ය ආරක්ෂාව සහතික කළ හැකි යුක්‍රේන විශේෂඥයින්ගේ සහභාගීත්වය තහවුරු කිරීමට” තමන් උපදෙස් ලබා දුන් බවයි සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ.

යුක්‍රේනයේ මෙම යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, “ඕනෑම රටකින් ලැබෙන ඕනෑම සහයක් මම භාර ගන්නවා,” යනුවෙන්.

මීට පෙර සෙලෙන්ස්කි පැහැදිලි කර තිබුණේ, යුක්‍රේනයේ ආරක්ෂාවට බාධාවක් නොවන බවට සහ කියෙව් වෙත රාජ්‍ය තාන්ත්‍රික වාසි ලැබෙන්නේ නම් පමණක් යුක්‍රේනය සහය ලබා දෙන බවයි.

විශේෂයෙන්ම, රුසියානු බැලස්ටික් මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා අමෙරිකානු ‘පැට්‍රියට්’ (Patriot) ගුවන් ආරක්ෂක පද්ධති ලබා ගැනීම වෙනුවෙන් තම රට සතු ඩ්‍රෝන මර්දන යානා හුවමාරු කර ගැනීමට යුක්‍රේනය සූදානම් බව ඔහු පවසා තිබෙනවා.