පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කරන බව එම දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
සැකකාර සුරේෂ් සලේ ඉකුත් 25 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේ දැයි විමසා තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලට අනුව මෙම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව, රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ නිරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිට තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හා බැඳුණු වවුනතීවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම, සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බයක් පිපිරී යාම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.







