ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මෙම වර්ෂයේ (2026) අප්‍රේල්,ජුනි,ජූලි මාසවලදී මෙරට විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වය දිගටම පැවතියොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් මහජන උපයොගීතා කොමිෂන් සභාව(PUCSL) විසින් එම ගල් අඟුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වෙනවා.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ විදුලි ඉල්ලුම පිළිවෙලින් මෙගාවොට් 3030,3070 සහ 3000 දක්වා ළඟාවුවහොත් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී ජනන ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම වාර්තාවේ සඳහන්.
මේ වසරේ (2026)මෙතෙක් වාර්තා වූ උපරිම රාත්‍රි ඉල්ලුම පෙබරවාරි 25 වන දින වාර්තාවූ මෙගාවොට් 2949ක් බවද එහි සඳහන් වෙනවා.
තවද පවතින ඒකක /බලාගාර අතුරින් එක් ගල් අඟුරු ඒකකයක් හෝ එක් බලාගාරයක් අක්‍රිය වුවහොත් විශේෂයෙන් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී රාත්‍රි උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ජනන ධාරිතාව මදිවීමේ අවදානමක් පවතින බවද එම වාර්තාව මගින් පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම බලාගාරය ස්ථාවරව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නොරොච්වෝලේ ලක්විජය බලාගාරයේ ජනන ධාරිතාව තවදුරටත් අඩුකිරීමට සිදුවුවහොත් එම ජනන ධාරිතාවේ හිඟයේ අවදානම තවදුරටත් ඉහළ යා හැකිබව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වී තිබෙනවා.
මතභේදාත්මක ගල් අඟුරු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකළ විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මේවන විට භාරදී තිබෙනවා.







