මැද පෙරදිග යුද්ධය හමුවේ චීන ආර්ථිකයත් අවදානමක: දිගුකාලීන බලපෑම් ගැන බීජිං පාලනය දැඩි අවධානයෙන්

මැද පෙරදිග කලාපය වෙළාගෙන ඇති යුදමය තත්ත්වයේ සෘජු කම්පනය චීනයට මෙතෙක් තදින් දැනී නොමැති වුවද, එහි වක්‍ර බලපෑම් දැන් චීනය දෙසට ගලා එමින් පවතින බවට බී බී සී පුවත් සේවය වාර්තා කරනවා.

කෙටි කාලීනව බලන කල, ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන තොග චීනය සතුව පවතින අතර අවශ්‍ය වුවහොත් තම අසල්වැසි රුසියාවෙන් සහය ලබා ගැනීමට ද ඔවුන්ට හැකියාව පවතිනවා.

එහෙත්, මෙම යුදමය තත්ත්වය මැද පෙරදිග කලාපයේ චීන ආයෝජනවලට සහ ඔවුන්ගේ අනාගත අභිලාෂයන්ට කෙලෙස බලපානු ඇත්දැයි බීජිං පාලනය මේ වන විට ගණන් බලා ඇති බවට වාර්තා වන බව බී බී සී පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය මේ වන විට අඩු පාරිභෝගික ඉල්ලුම, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කඩාවැටීම සහ දැවැන්ත දේශීය ණය බර වැනි ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා.

මෙම පසුබිම තුළ, පසුගිය බ්‍රහස්පතින්දා චීනය සිය වාර්ෂික ආර්ථික වර්ධන වේගය 1991 වසරෙන් පසු වාර්තා වූ අවම මට්ටමට පහත හෙළුවා.

අධි-තාක්ෂණික සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි ශීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කළද, රටේ සමස්ත ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට චීනය දැඩි වෙහෙසක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සිය ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අපනයන වෙළඳාම කෙරෙහි චීනය වැඩි බලාපොරොත්තු තබාගෙන සිටියද, ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධය ඊට විශාල බාධාවක්. දැන් මැද පෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය චීනයේ ප්‍රධාන නැව් ගමන් මාර්ග සහ බලශක්ති සැපයුම් ජාලයන්ට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

විශේෂයෙන්ම ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) හරහා සිදුවන ගමනාගමනයට බාධා එල්ල වුවහොත්, යුද්ධය ඇදී යන සෑම දිනකම චීන ආර්ථිකයට සිදුවන හානිය තීව්‍ර වනු ඇති බවයි වාර්තා වන්නේ.

රාජකීය එක්සත් සේවා ආයතනයේ (RUSI) පිලිප් ෂෙට්ලර්-ජෝන්ස් පවසන පරිදි, මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය චීනයට වැදගත් වන අනෙකුත් කලාපවලට ද බලපානු ඇති.

උදාහරණයක් ලෙස, අප්‍රිකානු ආර්ථිකයන් බොහොමයක් ගල්ෆ් කලාපයේ ප්‍රාග්ධනය මත යැපෙන අතර, එම ආයෝජන නතර වුවහොත් එය චීනයේ දිගුකාලීන ගෝලීය අවශ්‍යතාවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි චීන ලාවු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කෙරී බ්‍රවුන් පෙන්වා දෙන්නේ, අනෙකුත් රටවල් මෙන්ම චීනය ද මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ විමතියට පත්ව සිටින බවයි.

“ඇමරිකානුවන් කිසිදු සැලසුමකින් තොරව මෙම යුද්ධයට අවතීර්ණ වූයේ යැයි ලෝකය සිතනවා විය හැකියි. චීනය ද දැන් සිතමින් සිටින්නේ අනෙක් අය සිතන දේමයි. ඔවුන්ට මෙම ගැටුම්වලට මැදිවීමට අවශ්‍ය නැත, නමුත් නිහඬව සිටීමට ද නොහැකිය.”

ඉදිරි කාලයේදී මැද පෙරදිග තත්ත්වය සමනය නොවන්නේ නම්, චීනයට සිය ආර්ථික මූලෝපායන් මුළුමනින්ම වෙනස් කිරීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.