2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ව වගකිය යුතු ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාමනායක සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා.
අදාළ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇති ව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සෝභිත රාජකරුණා, 2019 මැයි 05 වන දා අත්තිඩිය ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර; පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර තිබෙන බවත්, පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපාන හේතු එම සැකකරුට පොලිසිය විසින් දිය යුතු බවත් ය.
එහෙත් වගඋත්තරකරුවන් තමන් ව අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ කරුණු තමන්ට දැනුම් නුදුන් බවත්; වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා මඟින් දැනුම් දී තිබුණේ ISIS සංවිධානයේ මතවාදය අනුගමනය කරන පුද්ගලයන්ගේ ලැයිස්තුවේ මෙම පෙත්සම්කරුගේ නම 84 වන ස්ථානයේ තිබූ බවත් ය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සිය තීන්දුව තුළින් සඳහන් කර තිබුණේ, පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රමාණවත් කරුණු පැවැති බවට අධිකරණය හමුවේ තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව පෙත්සම්කරු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සාධාරණ සැකයකින් තොර ව තහවුරු කළ හැකි තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරු සඳහන් කළ අතර; පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන තිබුණත්, ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ ව නිකුත් කර තිබූ රිසිට් පතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ව හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධ සිද්ධීන්ට අදාළ තොරතුරු ඇතුළත් වී නොතිබූ බව අධිකරණය නිරීක්ෂණය කරන බවයි තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.







