ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමාගම, BYD ATTO 1 මාදිලියේ රථ 835ක් මෙරටට ගෙන්වා ඇති බව පවසනවා.
මෙය එම වාහන මාදිලිය මෙරටට හඳුන්වා දීමෙන් පසු ගෙන්වන ලද විශාලතම තනි වාහන තොගය වන අතර, ඉන් පාරිභෝගික ඇණවුම් සඳහා වාහන ලබා දීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2025 නොවැම්බර් මාසයේ පැවැත්වූ කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් දියත් කළ දින සිට, BYD ATTO 1 මෙරට ජනතාව අතර දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමය යටතේ වඩාත් සහනදායී මිලකට ලබාගත හැකි වාහනයක් ලෙස, මෙම පූර්ණ විද්‍යුත් (Fully Electric) ‘හච්බැක්’ රථය පුළුල් පරාසයක පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ නව බලශක්ති වාහනයක් (NEV) අත්විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
BYD සමාගමේ සුප්‍රකට ‘Blade Battery’ තාක්ෂණයෙන් යුත් මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 300ක දුරක් ධාවනය කළ හැකි අතර, එය තරු 5ක ANCAP ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමකින් ද සමන්විත වෙනවා.
මෙම වාහනය සඳහා පවතින ඉහළ ඉල්ලුම සලකා බැලූ JKCG Auto සමාගම, මෙම වාර්තාගත වාහන තොගය කඩිනමින් ගෙන්වීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න පවසා සිටියේ “ATTO 1 රථය සඳහා ලැබුණු ප්‍රතිචාරය සැබවින්ම අසාමාන්‍යයි. නිසි තාක්ෂණයෙන් යුත් ගුණාත්මක නිෂ්පාදනයක් නිවැරදි මිලකට වෙළඳපොළට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලාංකිකයන් නව බලශක්ති වාහන (NEVs) වැළඳ ගැනීමට සූදානම් බව මෙයින් පැහැදිලි වෙනවා. වැඩි පිරිසකට මෙම වාහන සමීප කරවීමට අප කැපවී සිටිනවා.” යනුවෙන්.







