යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකදී මෙරටට ඩොලර් මිලියන 12කට ආසන්න පාඩුවක්

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයනි්ගේ පැමිණීම අඩුවීම නිසා සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර පාඩුවක් සිදුවනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ කියා සිටියා.

මේ අතර, සීමිත කාලසීමවක් සඳහා මැද පෙරදිග ගුවන් කලාපය විවෘත වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා ගුවන් යානයක් පිටත්ව ගොස් තිබුණා.

ඊයේ පස්වරුවේ මෙලෙස පියාසර කර ඇත්තේ, ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් යානයක්.

එහි ගුවන් මගීන් 47 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.

එමෙන්ම එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් යානයක් ද ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා නුවර බලා පිටත්ව ගොස් තිබුණා.

ඒ මගීන් 44 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙකු ද සමගයි.

එමෙන්ම මෙරට රැදී සිටින විදේශිකයින්ගේ දීර්ඝ කර තිබූ සති දෙකක වීසා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක කියා සිටියේ.