වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි

ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින්, ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, හෝටල් ක්ෂේත්‍රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමට කටයුතු කළ කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමට පියවර ගෙන තිබෙනවා.

ජපානයේ රැකියාවක් ලබාදීම සඳහා මෙම ආයතනයේ හිමිකරු විසින් රුපියල් 750,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් කුරුණෑගල, මහව, දළදාගම හන්දියේ පවත්වාගෙන ගිය අදාළ ස්ථානය වටලා එය පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී එහි තිබී ජපානයේ රැකියා ලබාදෙන බවට වූ ගිවිසුම්, මුදල් ලබාදීමේ කුවිතාන්සි, ප්‍රචාරක පත්‍රිකා, ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක යනාදිය නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරන ලද අතර, එම යුවළට අධිකරණය මඟින් විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.