තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගෝලීය වශයෙන් උත්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා විදේශීය සංචාරකයන් පිළිබඳ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා.

ඒ අනුව, සමස්ත රටේ පොලිස් ස්ථාන 608 ම ආවරණය වන පරිදි, සහ ප්‍රාදේශීය කොට්ඨාස 48 ම ආවරණය වන පරිදි විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ස්ථානීය ආරක්ෂාව, ජංගම සංචාර හරහා දෙනු ලබන ආරක්ෂාව සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි නිලධාරීන් මඟින් ලබාදෙන ආරක්ෂාව ඇතුළුව ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහායත් ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියා.

විදේශිකයන්ගේ ගමනාන්ත, ඔවුන් රැඳී සිටින ස්ථානයන්, ඔවුන්ගේ හෝටල් සහ ආගමික සිද්ධස්ථානවලටත් පැය 24 පුරා ම ආරක්ෂාව ලබා දීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.