මැදපෙරදිග යුද ගැටුමට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත රැක ගැනීමට අප කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අනුරාධපුර, උඩුදුම්බර ජනපදයේ ශ්‍රී මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සව අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඊයේ (01) මේ බව කීවේය.
මේ මොහොත වන විට අමෙරිකා එක්සත් ජනපදය ,ඉරානය සමඟ ඇති කරගත් යුදමය ක්‍රියාදාමය තුළ මුළු මැදපෙරදිග බලප්‍රදේශයම මහා දැවැන්ත යුද කලාපයක් බවට පත්ව තිබෙන බවත් අප රටේ විශාල ප්‍රමාණයක් මේ කලාපයේ සේවය කරමින් රටට ඩොලර් එවීම සිදු කරන බවත් මේ යුදමය තත්ත්වය තුළ මේ ජනතාව රැක ගන්න අපි කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වත්මන් රජය කළ යුතු උපරිම ක්‍රියාවක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැදපෙරදිග කලාපයේ සිටින අප රටේ ජනතාවගේ සේවය නිසා අප රටට විදේශ ප්‍රේෂණ ගලා ඒම සිදුවන බවත් මේ විදේශ ප්‍රේෂණ හරහා අප රටට අවශ්‍ය දේවල් ලබා ගත හැකි නිසා මේ ජනතාවගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් රජය පියවර ගත යුතු බවත් මේ ජනතාවගේ ජීවිත සුරක්ෂා වන විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත







