ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ – ඛනිජ තෙල් සභාපති

ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

ඒ අනුව මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ තිබෙන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරන්නේ.

පෙට්‍රල් දින 37කට, ඔටෝ ඩීසල් සහ සාමාන්‍ය ඩීසල් දින 35කට ප්‍රමාණවත්ව පවතින බවත්, ගුවන්යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත් බවත් සභාපතිවරයා සඳහන් කළා.

පිරිපහදු ඉන්ධන, පෙට්‍රල් සහ ඩීසල් මෙරට පැමිණ තිබෙන්නේ මැදපෙරදිග කලාපයෙන් නොවන බවත්, පසුගිය කාලය පුරාවට ඉන්ධන ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, කොරියාවෙන් සහ මැලේසියාවෙන් වන අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවත් ඒවාට ගැටලුවක් නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.