දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළා.
2014 වසරේ මැයි දින පෙළපාලියට සහභාගි වන සිය ආධාරකරුවන්ට දිවා ආහාරය ලබාදෙන ලෙස විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් එම සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ විසි දහසක මුදලක් මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කර ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.








