අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය කැඩූ 9,000කට දඩ

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අනිවාර්ය කර ඇති ආරක්ෂිත පටි (Seatbelts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියැදුරන් සහ මගීන් 9,000කට ආසන්න පිරිසකට දඩ පනවා ඇති බව පොලිසිය පවසනවා.

අධිවේගී මාර්ග රථවාහන පොලිස් කොට්ඨාසය සඳහන් කරන්නේ මෙතෙක් සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස හඳුනාගෙන දඬුවම් නියම කර ඇති බවයි.

අධිවේගී මාර්ගවලට ඇතුළුවන සහ පිටවන සියලුම ස්ථානවලදී පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් සහ මගීන් ආරක්ෂිත පටි පැළඳ සිටීද යන්න දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරනවා.

පසුගිය (2025) සැප්තැම්බර් 01 වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන රියැදුරන්ට මෙන්ම ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම මගීන්ට ආරක්ෂිත පටි පැළඳීම අනිවාර්ය කෙරුණා.

මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ හදිසි අනතුරක් සිදුවුවහොත් සිදුවන තුවාල හෝ මරණ අවම කරගැනීම මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණයි.

මේ නිසා පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ දඩ මුදලින් බේරීමට වඩා තමන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතියට ගරු කරන ලෙසයි.