ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට

ලිට්රෝ සමාගම තම ගෑස් සැපයුම ඉහළ නංවමින් දිනකට මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වසන්ත සමරසිංහ මහතා,

“ගෑස් හිඟයක් සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් වුණා. රටේ ජනතාවට මේ වෙලාවේ ගෑස් සම්බන්ධයෙන් තත්ත්වය කියන්න ඕනෑ. ඒ සඳහා ටෙන්ඩරය කැඳවීම විනිවිදභාවයෙන් කර තිබෙනවා. ඒ තෝරාගත යුතු හොඳම සැපයුම්කරු තෝරාගෙන තිබෙනවා. ජනවාරි මාසයේ 23,000ක් මෙට්‍රික් ටොන් අවශ්‍ය වුණා. පෙබරවාරි මාසයේදී මෙට්‍රික් ටොන් 28,000ක් ඉල්ලා සිටියා. මේ වන විට 18,078ක් ලැබී තිබෙනවා. නැව් තුනක් පෙබරවාරි මාසයේදී ඒමට නියමිතව තිබෙනවා.

ලිට්රෝ ගෑස් සමාගම අපේ රටේ වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් 80%ක් ආවරණය කරනවා. ගෑස් ලබාදීම සම්බන්ධයෙන් තිබෙන ගැටලු ගැන කතා කරන්න අපි අවස්ථා දෙකකදී සාකච්ඡා කළා. මේ මාසයේ මෙට්‍රික් ටොන් 3000ක නැවක් එනවා. ඊළඟ නැව මාර්තු 3 එනවා. ඔවුන් අපිට දැනුම් දී තිබෙනවා ඔවුන් ද උත්සාහ කරනවා ලිට්රෝ සමාගමට ගෑස් සපයන සැපයුම්කරුගෙන් මිලදී ගන්න.

ලොකු ගෑස් නැවක් පැමිණ මුහුදේ නවතා බෙදා හරිනවා. මාලදිවයිනටත් අදාළ සමාගම විසින් ගෑස් සපයනවා. ඒ නිසා අපි රජය ලෙස පසුගිය දින කිහිපය තුළ ගෑස් වෙළෙඳපොළේ සැපයුම්කරුවන් දෙදෙනයි ඉන්නේ. 20%ක් පෞද්ගලික අංශයෙන් සැපයනවා. මේ නිසා ඇතැම් නිවාසවල ගෑස් දෙවර්ගයම තිබෙනවා.

ලිට්රෝ සමාගමට ඉල්ලුම ඉහළ ගියා. නිල් පාට සිලින්ඩරයක් හෝ ගන්න ඕනෑ කියා ජනතාව කලබලයට පත්ව මිලදී ගැනීම්වලට යනවා. ඒ අනුව ලිට්රෝ සමාගමට තමන් සතුව තිබෙන ගෑස් සැපයුම වැඩි කළ යුතු වෙනවා. අද වන විට මෙට්‍රික් ටොන් 1500ක් දිනකට සපයනවා. එය ලිට්රෝ සමාගම හරහා සිදු කරනවා. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. කහ ලෑස් සිලින්ඩරයක් තිබෙන කෙනාට එකවර නිල්පාට සිලින්ඩරයක් ගන්න බැහැ. මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. පාරිභෝගිකයාට කහ පාට සිලින්ඩරයක් තිබුණාට ගෑස් නොමැති නම් ප්‍රශ්න තිබෙනවා.

අද වන විට දිනකට මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට නිකුත් කරනවා. නැව් පෝලිමට එනවා. ගෑස් හිඟයක් නැහැ. පෞද්ගලික අංශය ඉදිරිපත් නොවන්නේ නම් රජය මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා” යැයි පැවසීය.