රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවියෙන් කිසිදු අලාභයක් ලබා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කරන ඖෂධ, ඒවා නිෂ්පාදනය කළ අවස්ථාවේ පවතින පිරිවැයට අනුකූලව ලාභාන්තිකයක් සහිතව මිල තීරණය කරන අතර පිරිවැයට වඩා අඩු මිලට ඖෂධ අලෙවි කර නොමැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
2020 වසරේදී ඖෂධ වර්ග 49ක් ද, 2021 වසරේදී ඖෂධ වර්ග 49ක් ද, 2022 වසරේදී 58 ඖෂධ වර්ගයක් ද, 2023 දී 59ක් ද, 2024 දී 53ක් ද, 2025 වසර්දී ඖෂධ වර්ග 55ක් ද ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් ඖෂධ නිෂ්පාදනය කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව රට තුළ ඖෂධ භාවිත කිරීමට හෝ අලෙවි කිරීමට නොහැකි බවත් නමුත් එවැනි සිදුවීම් පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබුණු වහාම පරීක්ෂණ පවත්වන බවත් ඇමැතිවරයා කියා සිටියේය. මුජිබර් රහුමාන් මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අංශ ගණනාවකින් පරීක්ෂණ පවත්වන බව ද ඇමැතිවරයා පැවසුවේය. මෙරට ලියාපදිංචියෙන් තොරව වෙළෙඳපොළේ යම් ඖෂධයක් අලෙවි කරන්නේ නම්, එය නීතිවිරෝධී බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.








