ජනතාව සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා ජනතාවගේ අයිතිවාසිකම් සහ ණය ලබාදීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා “ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පිහිටුවීම ඇතුළු අවශ්‍ය නීතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා වූ පනත් කෙටුම්පත සකස් කෙරෙමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මෙහිදී 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත (Microfinance Act No. 6 of 2016)ට අවශ්‍ය සංශෝධන සිදු කරමින් හෝ නව පනතක් ලෙස අලුත් නීති රීති හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් බලපත්‍රගත කිරීම, නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා හඳුන්වා දුන් නීතිය 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත (Microfinance Act No. 6 of 2016) යි.

මෙය මූලික වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචිය, මූල්‍ය අරමුදල් පරිපාලනය සහ මහ බැංකු අධීක්ෂණය යටතේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පනවන ලද්දකි.

ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව, බලපත්‍ර ලබාගැනීම, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සඳහා මින් ඉදිරියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍ර ලබාගත යුතු බව පනත මඟින් අනිවාර්ය කොට තිබේ.

බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් (LMCs) මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වේ. සමුපකාර සමිති, සංවර්ධන පනත යටතේ ලියාපදිංචි ආයතන වැනි නිශ්චිත සමිති මෙම පනත යටතේ විශේෂ වගන්තිවලට යටත් කොට නියාමනය සඳහා මහ බැංකුව කටයුතු කරනු ඇත.

මෙම පනත මඟින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා ජනතාවගේ අයිතිවාසිකම් සහ ණය ලබාදීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරයි.

මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතනවලට පමණක් සිදු කළ හැකි කාර්යයකි. එසේ නොකොට මහජනතාවගේ තැන්පතු භාරගෙන අරමුදල් එක් රැස් කරගැනීම නව පනත ක්‍රියාත්මක කිරීමත් සමඟම නීතියෙන් අවසර නොලැබේ.

එය ගම්බද ජනතාව සූරාකෑමට හෝ අසාධාරණයන්ට ලක්ව පීඩාවට පත් කිරීම වැළැක්වීමට මුදල් අමාත්‍යාංශය ගනු ලබන ඉතා නිවැරදි හා තිරසර ක්‍රියාමාර්ගයක් වනු ඇත.