සමන් බලන්න වැලිකඩට ආ චන්ද්‍රිකා රට හදන හැටි කියයි

රට ඉදි­රි­යට ගෙනි­යන්න නම් අවංක, දක්ෂ, අත්දැ­කීම් තියෙන, පළ­පු­රුද්ද තියෙන පරි­පා­ලන සේව­යක් අවශ්‍ය බව හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­ණ­තුංග මහ­ත්මිය පව­සයි. ඇය මේ බව සඳ­හන් කළේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහ­තාගේ සුව­දුක් බැලී­මට වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට ගොස් පැමි­ණී­මෙන් අන­තු­රු­වය.

වැඩි­දු­ර­ටත් ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ඇය මෙසේ ද පැව­සු­වාය.

“මම සාමා­න්‍ය­යෙන් හිර­ගෙ­ව­ල්වල එන්නේ නැහැ. ජේ.ආර්. ජය­ව­ර්ධන ආණ්ඩු­වෙන් මගේ මහ­ත්තයා විජය කුමා­ර­ණ­තුංග හිරේ දාගෙන හිටපු මාස දෙකේ මම හැම­දාම දවල්ට බත් අරන් ගියා. රෑට කෑම ගෙනි­යන්න දුන්නෙත් නැහැ. රෑටයි දව­ල්ටයි දෙක­ටම එක­පාර කෑම අරන් ගියේ. ඊට පසුව මම එක වතා­වත් ආවා.

මේ රට ඉදි­රි­යට ගෙනි­යන්න නම් අවංක, දක්ෂ, අත්දැ­කීම් තියෙන, පළ­පු­රුද්ද තියෙන පරි­පා­ලන සේව­යක් අව­ශ්‍යයි. රජය, කැබි­න­ට්ටුව රැ‍ඳෙන්නේ පරි­පා­ලන සේවය මත. පරි­පා­ලන සේවයේ ඉන්න සියලු දෙනාම උගත් අය. එක්තරා ඉගෙ­නී­මක් නැත්නම් පරි­පා­ලන සේව­යට ඇතුළු වෙන්න බැහැ. විශාල පිරි­සක් ඉල්ලුම් කර­න­කොට තෝර­ගන්නේ 200ක් වගේ ප්‍රමා­ණ­යක්.

සම­හර ආණ්ඩු තමාට පක්ෂ නැති, තමාගේ පක්ෂ­යට කත් අදින්නේ නැති, තමාගේ පක්ෂ­යට දේශ­ප­ල­නය කරපු නැති අය පරි­පා­ලන සේවයේ ඉන්නවා නම් ඒ අයට විරුද්ධ වුණා. මේක පටන් ගත්තේ ජේ.ආර්. ජය­ව­ර්ධන ආණ්ඩු­වෙන්. ඉන්ප­සුව පත්වුණු රජ­යන් පවා මේ දේ කෙරුවා. මට පේන විදි­යට වත්මන් කාල­යෙත් ඒක කෙරී­ගෙන යනවා. කාට වුණත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක දේශ­පා­ල­නය කරන්න අයි­ති­යක් තිබෙ­නවා. හැබැයි තමාගේ රැකි­යාව කරන වෙලාවේ දේශ­පා­ල­නය කරන්න බැහැ.

මම හැම­දාම පරි­පා­ලන සේව­යට කිව්වේ කාර්යා­ල­යට එන­කොට දේශ­පා­ල­නය දොරින් එළියේ තියලා එන්න. කාර්යා­ල­යේදී රජයේ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්න. ගෙදර ගියාට පස්සේ ඕනේ දෙයක් කරන්න කිය­ලයි. සමන් ඒක­නා­යක කියන්නේ බොහොම හොඳ පුද්ග­ල­යෙක්. පහු­ගිය කාල­වල කිට්ටු­වෙන් වැඩ කරලා තිබෙ­නවා. දක්ෂ පාල­ක­යෙක්. ඒ නිසා මගේ විරෝ­ධය ප්‍රකාශ කර­න්නයි ආවේ.”

රන්මලී සෝම­සිරි