මෙරට තේ නිෂ්පාදනය 2030 වන විට කිලෝ ග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීමට සහ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීමට රජය ඉලක්ක කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (18) ප්‍රකාශ කළේය. 2024 වසරේදී තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 262ක් වූ අතර ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 1400ක් බව ද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන මිල්ලගල මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. නාගස්තැන්න වතුයායේ පවතින හෙක්ටයාර 6ක ඌන උපයෝජිත ඉඩම් ප්රශස්ත ලෙස පරිහරණය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙත බදු දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය. එම වතුයායේ පදිංචිකරුවන් 164 දෙනකු සිටින අතර ඉන් පස් දෙනකු පිටතින් පැමිණි අනවසර පදිංචිකරුවන් බවත්, ඔවුන් ඉවත් කිරීමට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න








