රට ඉදිරියට ගෙනියන්න නම් අවංක, දක්ෂ, අත්දැකීම් තියෙන, පළපුරුද්ද තියෙන පරිපාලන සේවයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුවය.
වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය මෙසේ ද පැවසුවාය.
“මම සාමාන්‍යයෙන් හිරගෙවල්වල එන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් මගේ මහත්තයා විජය කුමාරණතුංග හිරේ දාගෙන හිටපු මාස දෙකේ මම හැමදාම දවල්ට බත් අරන් ගියා. රෑට කෑම ගෙනියන්න දුන්නෙත් නැහැ. රෑටයි දවල්ටයි දෙකටම එකපාර කෑම අරන් ගියේ. ඊට පසුව මම එක වතාවත් ආවා.
මේ රට ඉදිරියට ගෙනියන්න නම් අවංක, දක්ෂ, අත්දැකීම් තියෙන, පළපුරුද්ද තියෙන පරිපාලන සේවයක් අවශ්‍යයි. රජය, කැබිනට්ටුව රැඳෙන්නේ පරිපාලන සේවය මත. පරිපාලන සේවයේ ඉන්න සියලු දෙනාම උගත් අය. එක්තරා ඉගෙනීමක් නැත්නම් පරිපාලන සේවයට ඇතුළු වෙන්න බැහැ. විශාල පිරිසක් ඉල්ලුම් කරනකොට තෝරගන්නේ 200ක් වගේ ප්‍රමාණයක්.
සමහර ආණ්ඩු තමාට පක්ෂ නැති, තමාගේ පක්ෂයට කත් අදින්නේ නැති, තමාගේ පක්ෂයට දේශපලනය කරපු නැති අය පරිපාලන සේවයේ ඉන්නවා නම් ඒ අයට විරුද්ධ වුණා. මේක පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන්. ඉන්පසුව පත්වුණු රජයන් පවා මේ දේ කෙරුවා. මට පේන විදියට වත්මන් කාලයෙත් ඒක කෙරීගෙන යනවා. කාට වුණත් ප්රජාතන්ත්රවාදී රටක දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා. හැබැයි තමාගේ රැකියාව කරන වෙලාවේ දේශපාලනය කරන්න බැහැ.
මම හැමදාම පරිපාලන සේවයට කිව්වේ කාර්යාලයට එනකොට දේශපාලනය දොරින් එළියේ තියලා එන්න. කාර්යාලයේදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ගෙදර ගියාට පස්සේ ඕනේ දෙයක් කරන්න කියලයි. සමන් ඒකනායක කියන්නේ බොහොම හොඳ පුද්ගලයෙක්. පහුගිය කාලවල කිට්ටුවෙන් වැඩ කරලා තිබෙනවා. දක්ෂ පාලකයෙක්. ඒ නිසා මගේ විරෝධය ප්‍රකාශ කරන්නයි ආවේ.”
රන්මලී සෝමසිරි








