කිරි ගවයින් මිලදී ගැනීමකදී සිදුවී ඇති වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයෙක් වන විජිත් විජේමුණි සොයිසා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී) ඊයේ (17) ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදයකුමාර වුට්ලර් මහතා පැවැසීය.
ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිලදී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස 2018 වසරේදී ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් සිදු කරනු ලබයි.
ඊට අදාළව එම විෂය භාරව සිටි අමාත්‍යවරු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විටින් විට ප්‍රශ්න කරනු ලැබීය. ඒ අනුව එකල කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර සම්පත් සංවර්ධන අමාත්‍යවරයාව සිටි පී. හැරිසන් මහතාගෙන් ද පසුගිය ජනවාරියේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරනු ලැබීය.
ඒ වන විට විජිත් විජේමුණි සොයිසා මහතා ද අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කර තිබේ.
කිරි ගවයන් 20,000ක් මෙරටට ආනයනය කර කිරි ගොවීන්ට බෙදා දීම සඳහා එකල කැබිනට් අනුමැතියක් ද ලැබී තිබී ඇත. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 73.9ක විදේශ ණයක් ද ගෙන ඇති බව සඳහන්ය. ඊට අනුව අවස්ථා දෙකක දී කිරි ගවයන් 3000ක් සහ 2000ක් මෙරටට ආනයනය කර ඇත. ඉතිරි කිරි ගවයන් 15,000 ගෙන්වීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ණය මුදල ගෙන ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස ගෙවා ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ඒ වන විට ආනයනය කර තිබුණු කිරි ගවයන් රැසක් ගොවිපොළවලදී විවිධ රෝගයන්ට ගොදුරු වීමෙන් මියයෑමත් අපේක්ෂිත කිරි ප්‍රමාණය නොලැබීමත් සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබී ඇත. ඒ වන විට ආනයනය කර සිටි කිරි ගවයන් රුපියල් ලක්ෂ 4ත්-5ත් අතර මිලකට කිරි ගොවීන්ට අලෙවි කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
නෙදර්ලන්තයෙන් ගත් ණය මුදල අදාළ සමාගමට දුන්නද ඒ වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු කිරි ගවයන් 15,000න් කිසිදු කිරි ගවයකු මෙරටට ලැබී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මෙරටට ආනයනය කළ කිරි ගවයන් ද රෝගී සතුන් බවත් එම සතුන්ට වැලඳී තිබුණු රෝගය මෙරට ගවයන්ට වැලඳෙන රෝගයක් නොවන බවත් එකල අනාවරණය වී තිබී ඇත. ඒ අනුව සැක කරනු ලබන්නේ රෝගී කිරි ගවයන් මෙරටට ආනයනය කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයේදී අවධානය යොමුව ඇති බව සඳහන්ය. මෙම කිරි ගවයන් ආනයනය සම්බන්ධයෙන් අදාළ ඔස්ට්‍රේලියානු සමාගම හා ගිවිසුම්ගත වන්නේ 2014 වසරේ දී එවකට පැවැති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟිනි. ඒ සම්බන්ධයෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විගණකාධිපතිවරයා දුන් නිර්දේශ කිසිවක් තැකීමකට ලක් නොකර කැබිනට් අනුමැතිය ද ඒ සඳහා එකල දී ඇති බව සඳහන්ය. කිරි ගවයන් 5,000ක් අවස්ථා දෙකකදී ගෙන්වා ඇත්තේ 2017 සහ 2018 වසරවලදීය.
ගයාන් කුමාර වීරසිංහ








