අද සිට අධිකරණවල කටයුතුත් සාමාන්‍ය පරිදි

අද සිට අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නිතීඥවරුන් වෘත්තීය කටයුතුවලින් ඉවත්වීම නිසා ඊයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලට බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් නඩු කල් දැමීමට විනිසුරුවරුන් පියවර ගත් අතර, ඇතැම් අධිකරණ පරිශ්‍ර තුළ කළු කොඩිද ඔසවා තිබෙනු දක්නට ලැබුණා.

වසර 14 කට පසු පෙරේදා හදිසි රැස්වීමක් කැදවූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඊයේ සියලු අධිකරණවල වෘත්තිය කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළා.

මේ අතර, පොළොන්නරුව, හෝමාගම, බණ්ඩාරගම, ගාල්ල ඇතුළු බොහෝ අධිකරණ පරිශ්‍රවල කළු කොඩි ද ඔසවා තිබූ අතර, ඇතැම් අධිකරණ පරිශ්‍ර ඉදිරිපිට මෙම ඝාතන සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතා ද සංවිධාන කර තිබුණා.

එමෙන්ම, මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිට ද නිතීඥවරුන් විරෝධතාවක නිරත වුණේ වෙඩිතැබීමෙන් මියගිය නීතිඥවරයාට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්.