අද කාලගුණ නිවේදනය

අද (17) සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.