සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක්

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ තරමක වැසි තත්ත්වයක් බලාපොරොත්තුව විය හැකි බැවින්, අවදානම් සහිත පාසල් පිළිබඳ තොරතුරු එම ප්‍රදේශවල කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා දැනුම්දී සිටියේ, එම පාසල් අයහපත් කාලසීමාව පැවති වකවානුවේ ලබාදී තිබූ උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.

ඒ අනුව මාර්ග භාවිතා කිරීමේදී මෙන්ම පාසල් පිහිටා ඇති ස්ථාන සම්බන්ධව හා ජනතාව ගැවසෙන ස්ථාන පිළිබද ලබාදුන් උපදෙස් අනුගමනය කර තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (15) සිට අඩු පීඩන කලාපයක් ඇතිවීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.