පින්නවල අලි අනාථාගාරය 51වන සංවත්සරය සමරයි

වර්තමානයේ පරිසර අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය 2026 පෙබරවාරි 16 වැනිදාට සිය 51 වන සංවත්සරය සමරයි.

1975 පෙබරවාරි 16 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් “කුමාරි”, “නිලා”, “කදිරා”, “විජය” සහ “මාතලී” යන අනාථ අලි පස් දෙනෙකුගෙන් මෙම ආයතනය 1982 වර්ෂයේ දී ආරම්භ කර ඇත.

ආසියානු අලින් සංරක්ෂණය හා අභිජනනයේ ජාතික මධ්‍යස්ථානයක්

වර්තමානයේ අලි අනාථාගාරය ආසියානු අලින් සංරක්ෂණය, අභිජනනය, සත්ත්ව සුබසාධනය, අධ්‍යාපනය හා පර්යේෂණ කාර්යයන් සහ සංචාරක ව්‍යාපාරය යන අරමුණු තෙක් වර්ධනය වී ඇත. අලින්ගෙන් සංරක්ෂණ ගහනයක් පවත්වාගෙන යමින්, යම් දිනයක වනයෙන් අලින් වඳ වී ගියහොත් නැවත වනයට හඳුන්වා දීමේ හැකියාව ද මේ ආයතනය සතුව පවතී.

1984 වර්ෂයේදී “විජය” හා “කුමාරි” යන අලින්ගෙන් උපන් “සුකුමලී” අලි පැටවා අලි අනාථාගාරයේ පළමු උපත ලෙස වාර්තා වූ අතර එතැන් සිට මේ වන විට ස්වාභාවික අලි උපත් 76ක් සාර්ථකව සිදු වී ඇත. 2021 වර්ෂයේදී අනාථාගාරයේ ප්‍රථම නිවුන් අලි උපත ද වාර්තා වීම විශේෂ සිදුවීමකි.

වර්තමානයේ පිරිමි අලි 27ක් හා ගැහැණු අලි 38ක් ඇතුළුව අලි 65 දෙනෙකු අනාථාගාරයේ රැකවරණය ලබති. ආරම්භක අලි පස් දෙනා අතරින් “කුමාරි” (වයස 61), “මාතලී” (වයස 56) හා “නිලා” (වයස 53) තවදුරටත් රැකවරණය යටතේ ජීවත්වන අතර “මාතලී” කෙනෙර අලි රංචුවට නායකත්වය සපයයි.

“නිදහස් අලි අරණ” – 51 වන සංවත්සරයේ විශේෂ යෝජනාව

ආසියානු පිරිමි අලින් ලිංගික පරිණතත්වයට පැමිණි විට “මද” (musth) ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදයකට පිවිසීම සාමාන්‍ය ලක්ෂණයකි. එම අවස්ථාවේදී ඔවුන් ආරක්ෂිතව හා විධිමත් ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම අවශ්‍යතාවය සපුරාලමින්, නවීන සත්වෝද්‍යාන හා සත්ත්ව සුබසාධන සංකල්පයන්ට අනුගතව වැඩිහිටි පිරිමි අලින් නිදහසේ තැබීම සඳහා “නිදහස් අලි අරණ” ස්ථාපිත කර ඇත. එය 51 වන සංවත්සරයට සමගාමීව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ අතින් භාවිතයට එක් කිරීමට නියමිතය.

අධ්‍යාපන, පර්යේෂණ හා කාර්ය මණ්ඩල සුබසාධනය

51 වන සංවත්සරය සමගාමීව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් හා කාර්ය මණ්ඩල සුබසාධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, අලි රැකවරණ තාක්ෂණය හා විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයන් තවදුරටත් දියුණු කිරීම අනාථාගාරයේ අරමුණ වේ.

සංචාරක ව්‍යාපාරයට හා ජාතික ආර්ථිකයට දායකත්වය

අලි 50–80 අතර සංරක්ෂිත ගහනයක් පවත්වාගෙන යාම, සාර්ථක අභිජනන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම, ඉහළ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීම සහ අලි රැකබලා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයන් දියුණු කිරීම හේතුවෙන් මෙම ආයතනය ශ්‍රී ලංකාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය ආයතනයක් ලෙස පිහිටයි.