ජනපති හා ධීවරයින් අතර හමුවේදී සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට එකඟතාව පළවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

වින්ච් ක්‍රමවේදය භාවිතා කරමින් ඉදිරියට පත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වන විට මතුව ඇති තත්ත්වය පිළිබඳ එම ධීවරයින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, මෙම සාකච්ඡාව ලබාදීම පිළිබඳව ද ධීවර නියෝජිතයෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියා.

ධීවර නියෝජිතයන් මතු කළ කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා විසින් මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැන නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් බවත් අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන් හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබා දී ඇති වාර්තා ද සැලකිල්ලට ගත යුතු බව ද, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට මෙහිදී එකඟතාව පළ කෙරුණු අතර, අදාළ සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමට ද, විරෝධතාව නතර කිරීමට ද තීරණය කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 news images news images