‘ලක්සල’ අලෙවිසල් ජාලය ජනවාරි මාසයේ රුපියල් මිලියන 109ක ලාභයක් ලැබූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. දැනට විවෘතව පවතින
‘ලක්සල’ අලෙවි ශාඛා දහයෙන් 2025 වර්ෂයේදී රුපියල් මිලියන 921ක අලෙවි ආදායමක් ලැබූ බව ද අමාත්‍යවරයා පැවසීය.
‘ලක්සල’ එකොළොස් වැනි අලෙවිසල මීගමුවේදී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 1964 වර්ෂයේදී ආරම්භ කළ ‘ලක්සල’ අලෙවිසල් ජාලය මෙරට හස්ත කර්මාන්තය ප්‍රවර්ධනයට දායක වී ඇත. එහි රට පුරා විසිරී ඇති ‘ලක්සල’ අලෙවි ශාඛා අතරින් මීගමුව සංචාරක කර්මාන්තය කේන්ද්‍රකොට ගෙන මීගමුවේදී ලක්සල එකොළොස් වැනි ශාඛාව ආරම්භ විය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“කලින් ආණ්ඩු කරපු අය හැමෝම බැලුවේ මේ වගේ පොඩි මිනිසුන්ට දියුණු වෙන්න තිෙයන තැන් වසා දමන්න. එහෙම නැත්නම් පාඩු කරලා විකුණා දමන්න. අපේ ආණ්ඩුව යටතේ අපි නිරන්තරයෙන්ම උත්සාහ දරන්නේ මේ වගේ තැන් දියුණු කරලා රටට, ජනතාවට වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමටයි.
‘ලක්සල’ ආයතනය දැන් ඉතාමත් දියුණු තත්ත්වයක, ලාභ ලබන තත්ත්වයක තිෙයනවා. ඒ නිසා තමයි අපි තීරණය කළේ සංචාරක කර්මාන්තය බහුලව තියෙන මීගමුව වගේ ප්‍රදේශයක මේ වගේ ‘ලක්සල‘ අලෙවිසලක් විවෘත කරලා අපේ හස්ත කර්මාන්තකරුවා දිරිමත් කරන ගමන්, ඒ නිර්මාණ ජාත්‍යන්තරයට ගෙනියන්න. මේ කාර්යය සඳහා ඉතාමත් කැපවීමෙන් වත්මන් සභාපතිතුමිය සුජීවා සේනානායක මහත්මිය මහඟු කාර්යයක් ඉටු කරනවා.
මේ අලෙවිසල විවෘත කිරීම සඳහා ඇස්තමේන්තුව මිලියන 22ක් නමුත් සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ මේ කාර්ය මණ්ඩලය මේ සඳහා මිලියන 3ක් පමණක් වැයකර මේ දේවල් කරලා තියනවා. ගබඩාවල පරණ වෙවී තිබුණු, ඉවතලන දේවල් පාවිච්චි කරලා බොහෝම අපූරු ස්ථානයක් ගොඩනඟලා තිෙයනවා. මේ වගේ තරගකාරී වෙළෙඳපොළක් ජයගන්න පුළුවන් තරගයෙන්මයි. ඒ නිසා අපි ලෑස්තියි තරගයක් දෙන්න.
හස්ත කර්මාන්තකරුවා දිනවන්න නම්, අපි මේ වගේ ස්ථාන තවත් ඇති කළ යුතුයි. ඉතාමත් සුළු කාලයක් තුළ වැසීයෑමට තිබුණු තැනක් මේ. නමුත් අවුරුද්දක් තුළ අපි ලාභ ලබන තත්ත්වයට ගෙනවා. මේ කරපු දේ සංචාරක කර්මාන්තයේ දියුණුවට කෙළින්ම බලපානවා. හරි නම් අද මෙතැන සංචාරක අමාත්‍යවරයා ද සිටිය යුතුයි.
මේ වසරේ ජූලි 16 – 24 දිනවල ‘Expo 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය’ අපි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කරගෙන යනවා. ඒ සඳහා ජාත්‍යන්තර ගැනුම්කාර ආයතන 1,500ක් මෙරටට එනවා. ඒක අපේ හස්ත කර්මාන්තයට හොඳ අවස්ථාවක් වෙයි. මේ ප්‍රදේශයේ නගරාධිපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල එකතුවක් හැටියටයි අපි මේ කර්තව්‍යය සිදු කරගෙන යන්නේ.’
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි, නගරාධිපති රොබට් හීන්කෙන්ද, ශ්‍රී ලංකා හස්ත කාර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) සභාපති සුජීවා සේනානායක, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක, මීගමුව පොලිස් අධිකාරි බිමල් පෙරේරා, මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තල්වත්ත යන මහත්ම මහත්මීහු සහ මීගමුව සංචාරක හෝටල් කළමනාකාරවරුන්, සංචාරක මඟපෙන්වන්නන් ඇතුළු සම්භාවනීයයෝ රැසකගේ සහභාගිත්වයෙන් ‘ලක්සල‘ එකොළොස් වැනි අලෙවිසල විවෘත විණි.








