ගොවීන් ලක්ෂ 11කට පොහොර සහනාධාරය බිලියන 18ක් දීලා

මෙවර මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් මේ වන විට රුපියල් බිලියන 17.68ක මුදලක් ගොවීන් 1,111,948 දෙනකුගේ ගොවි ගිණුම්වලට බැරකර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පළමු අදියර යටතේ වී ගොවීන්ගේ කුඹුරු බිම් හෙක්ටයාර 743,068කට රුපියල් කෝටි 1110.5ක මුදලක් පොහොර සහනාධාරය වශයෙන් ලබාදී තිබේ. දෙවැනි අදියර යටතේ කුඹුරු බිම් හෙක්ටයාර 657,739ක් සඳහා රුපියල් කෝටි 657.7ක් පොහොර සහනාධාරය වශයෙන් ගෙවා අවසන් කර ඇත. මෙම මහ කන්නය වෙනුවෙන් පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් බිලියන 20ක මුදලක් වෙන් කර ඇත. වී වගාකරුවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් පිරිනමනු ලබයි.

වී වගාකරුවන් විසින් තමන් වී වගා කරන බව හා වී වගා කරන භුමි ප්‍රමාණය පිළිබඳව ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිවරයා වෙත හෝ ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත දැනුම්දීමෙන් අනතුරුව රුපියල් 15,000ක් වන පළමු වාරිකය ලබාදීමට කටයුතු කරනු ලබයි. දෙවැනි වාරිකය ලෙස ලබාදෙන මුදල රුපියල් 10,000කි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ( ආයතනික සංවර්ධන) කේ.ඒ. සුමිත් චන්දන මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී අවධාරණය කළේ, මේ යටතේ පළමු අදියර ලෙස තවත් කුඹුරු බිම් හෙක්ටයාර 10,000කටත්, දෙවැනි අදියර යටතේ තවත් කුඹුරු හෙක්ටයාර 90,000කටත් මහකන්නයේ පොහොර සහනාධාරය ලබාදීමට තිබෙන බවයි. මේ මුදල ලබන සතියේ ගොවි ගිණුම්වලට බැරකර අවසන් කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.