IMF වාරික දෙකක් එකවර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හය වැනි සහ හත් වැනි ණය වාරික දෙකම බොහෝ දුරට එකවර නිදහස් කරගැනීමට හැකි වනු ඇතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කළේය.

දිට්වා සුළි කුණාටුව නිසා කල්දැමුණු හය වැනි වාරිකයට අදාළ පස් වැනි සමාලෝචනයත් හත් වැනි වාරිකයට අදාළ හය වැනි සමාලෝචනයත් කඩිනමින් පවත්වා ඉන්පසු මෙරටට ලැබිය යුතු වාරික දෙකම එකවර ලබාගැනීමට බොහෝ දුරට හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

පස් වැනි සමාලෝචනය පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. එය දිට්වා සුළි කුණාටුව නිසා මේ වසරේ මුල් මාස කිහිපය දක්වා කල් තැබිණි. ඉන් අනතුරුව හයවැනි සමාලෝචනය මේ වසර මැද පැවැත්වීමට නියමිතය.

මෙම සමාලෝචන දෙකම කඩිනමින් පවත්වා හය වැනි සහ හත් වැනි වාරික දෙකම එකවර බොහෝ දුරට ලබාගැනීමට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. වසර 2022 දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක වසර හතරක් පුරා ක්‍රියාත්මක ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023 මාර්තු 22 වැනි දින එකඟතාව පළ කළේය. ඒ අනුව පළමු වාරිකය 2023 මාර්තු 20 වැනි දින ඩොලර් මිලියන 330ක් ලෙස ලබා දෙන ලදි. දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වැනිදා ඩොලර් මිලියන 337ක් ලෙස ද, තුන්වැනි වාරිකය ඩොලර් මිලියන 336ක් ලෙස 2024 ජුනි 12 වැනි දින මෙරටට ලබාදී ඇත. හතර වැනි වාරිකය 2025 පෙබරවාරි 28 වැනි දින ඩොලර් මිලියන 334ක් ලෙස ලබා දුන් අතර පස් වැනි වාරිකය 2025 ජූනි පළමු වැනිදා ඩොලර් මිලියන 350ක් ලෙස ලබාදී තිබේ.

දැනට ලබාදීමට නියමිත හය වැනි වාරිකය සඳහාවූ පස්වැනි සමාලෝචනය නුදුරේදීම පැවැත්වීමටත්, හය වැනි සමාලෝචනය වසර මැද පැවැත්වීමටත් කටයුතු කරනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) මහත්මිය ලබන සඳුදා (16) මෙරටට පැමිණීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ මහත්මිය මෙරට මුදල්, ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරිහු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ඇමැතිවරයා වැඩිදුරටත් කීය.