හිටපු අමාත්‍ය නිල නිවාසවල උසාවි පිහිටුවීම කඩිනම් කිරීමට අධිකරණ ඇමතිගෙන් උපදෙස්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබා දී ඇති හිටපු අමාත්‍යවරුන් භාවිතා කළ නිල නිවාසවල උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනතාවට නීති සේවාවන් වඩාත් පහසු සහ වේගවත් ලෙස ලබාදීමේ අරමුණින් මෙම කටයුතු ඉක්මනින් අවසන් කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඊයේ (12) එක් වූ අතර, එම අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025–2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාර ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් එම අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී ඇත.

ඒ අනුව අංක B/88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ අංක B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටි හිටපු අමාත්‍ය නිල නිවාසය තුළ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති අතර, තවදුරටත් අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අංක B/88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ අංක B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය, කොළඹ 07 යන ස්ථානයන්හි පිහිටි හිටපු අමාත්‍ය නිල නිවාස ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එම නිල නිවාසවල අධිකරණ පිහිටුවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.