මහකන්නයේ වී ටොන් 80,000ක් මිලදී ගන්න රු. බිලියන 10ක්

මෙවර මහකන්නයේ වී මෙට්‍රික් ටොන් අසූ දහසක් මිලදී ගැනීමට රජය විසින් රුපියල් බිලියන දහයක් වෙන්කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ගොවි ජනතාවට තවදුරටත් පහසුකම් ලබා දෙමින් අනුරාධපුර හා මොනරාගල දිස්ත්‍රික්කවල විශාල ප්‍රමාණයේ වී වේළීමේ යන්ත්‍ර ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.

රජයේ සහතික මිල ගණන් යටතේ මෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ අනුව නාඩු සඳහා රුපියල් 120ක් ද සම්බා සඳහා රුපියල් 130ක් ද කීරි සම්බා සඳහා රුපියල් 140 ක් වශයෙන් මිල ගණන් රජයෙන් ලබා දී ඇති බව ද වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වෙළෙඳ ඇමැතිවරයා අනුරාධපුරයේදී මාධ්‍ය වෙත ඊයේ (12) අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් මෙසේ ද පැවසීය.

“වී මිලදී ගැනීමට කුඩා වී මෝල් හිමියන් වෙනුවෙන් කඩිනමින් ණය මුදල් ලබාදීමට කටයුතු කරනවා. රජයේ නියමිත ප්‍රමිතියට ගොවියන් විසින් වී ලබා දෙන්නේ නම්, ඒ සඳහා රජයේ සහතික මිල ලබා දෙමින් මිලදී ගැනීමට කටයුතු කරන බවත් වියළීමේ මැෂින් ස්ථාපිත කිරීමට රජය මේ වන විට සැලසුම් සකස්කර තිබෙනවා.

මෙවර මහකන්නේ වී මෙට්‍රික් ටොන් අසූ දහසක් මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන දහයක් රජය විසින් වෙන් කර තිබෙනවා. පාරිභෝගික ජනතාවට සහන මිලකට සහල් ලබා දීමට කටයුතු කරමින් ගොයම් කැපෙන හැම ප්‍රදේශයකම රජයේ වී ගබඩා විවෘත කර පවතිනවා.

වී වේළීමේ යන්ත්‍ර අනුරාධපුර – ඔයාමඩුව ප්‍රදේශයේ මෙන්ම මොනරාගල ප්‍රදේශයේ ද ස්ථාපිත කරනවා. තවත් එවැනි යන්ත්‍ර කිහිපයක් ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කර ඇත. වී මිලදී ගැනීමේ යන්ත්‍රණය ශක්තිමත් කරනවා සේම වී වේළීමේ යන්ත්‍රණය ද ශක්තිමත් කිරීමට මෙම වසරේ සිට කටයුතු කරනවා. පොහොර සහනාධාරය සඳහා සියයට අනූවක්ම මුදල් වෙන්කර අවසන්. වන්දි මුදල් ලබාදීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන්නේ එම ගොවි ජනතාව නිසි වේලාවට තොරතුරු ලබා නොදීම හේතුවෙන්.‍ ඒ පිළිබඳව විමර්ශනය කොට එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා.