කිඹුල්-පිඹුරු හම් මෙරටට ගෙනා ගුවන් මගියෙක් අත්අඩංගුවට

වියළා, වර්ණ ගන්වා සකස් කළ පිඹුරන්, කිඹුලන් ඇතුළු උරගයන් රැසකගේ හම් තොගයක්, නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් ගුවන්තොටුපළ

රේගු නිලධාරීන් සහ රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබීය. කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ (Red Channel) ඔස්සේ ඔහු මෙම සත්ත්ව හම් පිට කරගෙන යෑමට තැත් කළ අවස්ථාවේදී කොටුවී ඇත. කිඹුලන්, පිඹුරන්, වෙනත් උරගයන් සහ වෙනත් සත්ත්වයන්ගේ හම් කොටස් 19ක් ඔහු සතුව තිබී සොයාගෙන තිබේ. සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු මෙම සත්ත්ව හම් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඇත. ඒවා තම ගමන් මලු තුළ සඟවා ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1167 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. මෙකී ව්‍යාපාරිකයා, මෙම සත්ත්ව හම් තොගය, රෙදිපිළි ලෙස පවසමින්, රේගු නිලධාරීවරුන් නොමඟ යැවීමට තැත් කර ඇත. රේගු නිලධාරීන් ඉතා සූක්ෂ්ම ලෙස ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

මේ වන විට කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.