මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයන් අතර සිදු වන සියලුම ගනුදෙනු ශ්රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
එසේ නොවන්නේ නම්, එය ශ්රී ලංකා මහ බැංකු පනත යටතේ වරදක් වන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් මිලියන විසි පහකට නොවැඩි දඩයක් හෝ වසර තුනකට (03) නොවැඩි කාලයක් සඳහා බරපතළ හෝ ලිහිල් සිර දඬුවමක් හෝ ඉහත කී දඩය සහ සිර දඬුවම යන දඬුවම් දෙකටම යටත් විය හැකි බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ නේවාසික පුද්ගලයන් විසින් මෙරටදී සිදු කරනු ලබන ගනුදෙනු සඳහා ශ්රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරන අවස්ථා තිබෙන බව ද ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වසර 2023 අංක 16 දරන ශ්රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයන් අතර සිදු වන සියලුම ගනුදෙනු ශ්රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ශ්රී ලංකා රුපියල් විදේශ මුදල්වලට පරිවර්තනය කරමින්, විද්යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (හර හෝ බැර කාඩ්පත්) මඟින් සිදු කරන ගෙවීම් ද ඇතුළුව, දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම්, විදේශ විනිමය ගිණුමකට බැර කරවා ගැනීම සඳහා දේශීය වෙළෙඳුන් හට මහ බැංකුව විසින් කිසිදු අවසරයක් ලබාදී නොමැති බව වෙළෙඳුන්ට සහ මහජනතාවට දන්වා සිටී.
ඒ අනුව, ශ්රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, ශ්රී ලංකාවේ නේවාසික පුද්ගලයකු මෙරට වෙළෙඳ ආයතනයක් වෙත විදේශ මුදලින් ගෙවීම් සිදු කිරීම හෝ ඕනෑම වෙළෙඳ ආයතනයක් භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ශ්රී ලංකාවේ නේවාසික පුද්ගලයකුගෙන් විදේශ මුදලින් ගෙවීම් ලබාගැනීම, ශ්රී ලංකා මහ බැංකු පනත යටතේ වරදක් බව ද ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.








