ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලන ගමනේ දැවැන්ත පියවරක් තබමින් GovPay සාර්ථක වසරක් සපුරයි

රජයේ සේවාවන් සමඟ පුරවැසියන් ගනුදෙනු කරන ආකාරය සරල සහ කාර්යක්ෂම කරමින් හඳුන්වා දුන් GovPay පද්ධතිය, සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථක වසරක් අද දින සපුරනු ලබයි.

මීට වසරකට පෙර ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, අද වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයෙහි ප්‍රධානතම කුළුණක් බවට පත්ව තිබේ. වඩාත් වේගවත්, විනිවිද පෙනෙන සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීමක් සහතික කිරීම උදෙසා GovPay පද්ධතිය මේ වන විට රාජ්‍ය අංශය තුළ දැවැන්ත විප්ලවයක් සිදු කර ඇත.

පසුගිය වසරක කාලය තුළ GovPay ලැබූ ප්‍රගතිය අතිමහත්ය. මේ වන විට රුපියල් බිලියන 2.7කට අධික ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක් මෙම පද්ධතිය හරහා සිදුව ඇති අතර, රාජ්‍ය ආයතන 252කට අධික ප්‍රමාණයක් සාර්ථකව මෙයට සම්බන්ධ වී ඇත. අන්තර්ජාලය ඔස්සේ ඕනෑම තැනක සිට සේවාවන් දහස් ගණනක් ලබා ගැනීමේ පහසුව පුරවැසියාට හිමිවීම හරහා රාජ්‍ය අංශය තුළ විශ්වාසය, ඇතුළත් කිරීම සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් වී තිබේ.

සමස්ත ලංකා රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය (All Island Traffic Fine System) හඳුන්වා දීම GovPay ලැබූ තවත් කැපී පෙනෙන ජයග්‍රහණයකි. මීට පෙර පැවති කාලය වැය වන සහ වෙහෙසකර දඩ ගෙවීමේ ක්‍රමවේදය වෙනුවට, දැන් ඕනෑම රියදුරෙකුට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා හෝ ලංකාපේ (LankaPay) ජාලය හා සම්බන්ධිත ඕනෑම බැංකු පද්ධතියක් හරහා ක්ෂණිකව දඩ මුදල් ගෙවීමේ පහසුව සලසා ඇත. රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම හරහා මුල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණය අවම කිරීමටත් මේ හරහා සුවිශේෂී දායකත්වයක් ලැබී තිබේ.

එමෙන්ම, මෑතකදී ඇති වූ ‘ද්විත්වා’ (Dwithwa) කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක වන ‘Rebuilding Sri Lanka’ ආධාර එකතු කිරීමේ වැඩපිළිවෙළට ද GovPay පද්ධතිය සිය සක්‍රීය දායකත්වය ලබා දෙයි. අවතැන් වූවන් වෙනුවෙන් ආධාර උපකාර කිරීමට බලාපොරොත්තු වන දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට ඉතා ආරක්ෂිතව සහ පහසුවෙන් GovPay හරහා සිය මූල්‍ය දායකත්වය ලබා දීමට අවස්ථාව සලසා දී ඇත. මෙමගින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වඩාත් විනිවිදභාවයකින් සහ කඩිනමින් රැස් කිරීමට රජයට හැකි වී තිබේ.

මෙම සන්ධිස්ථානය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකාපේ (LankaPay), අනෙකුත් හවුල්කාර ආයතන සහ ඩිජිටල් ලෙස සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්ව කටයුතු කරන පුරවැසියන්ගේ සාමූහික කැපවීමෙහි ප්‍රතිඵලයකි. වසරක සාර්ථකත්වය සමරන GovPay පද්ධතිය, ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ අත්කර ගනිමින් මෙරට රාජ්‍ය සේවය පූර්ණ ඩිජිටල්කරණය කරා මෙහෙයවීමට සූදානමින් සිටියි. GovPay පිළිබඳ වැඩි විස්තර සඳහා www.govpay.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.